April 20, 2024

රිෂාඩ් අත්අඩංගුවට ගත් හේතුව ගැන ඇමැති සරත්ගෙන් ප්‍රකාශයක් Featured

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගත්තේ කතානායකවරයාගෙන් අපරාධ විමර්ශන ඒකකය මගින් අවශ්‍ය කරන අනුමැතිය ලබාගැනීමෙන් පසුව බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඔවුන් අත්අඩංගුවට ගත්තේ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ඔවුන්ගේ සම්බන්ධයක් සහ යම්කිසි දායකත්වයක් ලැබී ඇති බවට විමර්ශන කටයුතු මගින් අනාවරණය වීමෙන් පසුව බවත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ කරමින් සිටින බවත් සරත් වීරසේකර අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"කතානායකවරයාගෙන් අපරාධ විමර්ශන ඒකකය මගින් අවශ්‍ය කරන අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයට අදාළවම ප්‍රහාරය එල්ල කළ ස්වං ඝාතකයින් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට අවශ්‍ය මුදල් උපයා ගැනීමට ආධාර අනුබල දුන් බවට සාක්ෂිවලින් කරුණු අනාවරණය වී තිබෙනවා. පොලීසිය විසින් දිගින් දිගටම කරන විමර්ශන කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස සනාථ වු පසු මෙසේ වරින්වර අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවත් ප්‍රකාශ කළ යුතුයි."

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ රිෂාඩ් බදියුදීන් හා රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගත්තේ විශ්ලේෂණාත්මක දත්ත හා සාක්ෂි ඇසුරෙන් බවය.

එමෙන්ම තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් ඊයේ (24) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා‍ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගය ද පසුව ලබා ගත්තේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඊයේ අලුයම  02ට පමණ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත. 

එහිදී අත්අඩංගුවට ගැනීමට පෙර සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායකයා වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක්ද නිකුත් කර තිබුණි.

Rate this item
(0 votes)