May 15, 2021

ඇමැති දිලුම්ගේ ‘හිට්ලර්’ කතාවට මුරුත්තෙට්ටුවේ හිමිගෙන් සැර කතාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්‍ෂයක ජනතාවක් බලාපොරොත්තු වූයේ හිට්ලර් කෙනෙක් යැයි අමාත්‍ය දිලුම් අමුණුගම විසින් කළ ප්‍රකාශයට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දැඩි විරෝධය පළ කරති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත් ආණ්ඩුව පිහිටුවීමට ප්‍රබල ලෙස කටයුතු කළ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ හිට්ලර් පන්නයේ පාලනයක් මෙරටට ගෙන ආයුතු බවක් කිසිවෙකු කියන්නේ නම් ජනතාව වැඩිකල් නොයවාම ඔවුන්ට පිළිතුරු ලබාදෙනු ඇති බවයි.

දිළුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශයක් තරයේ හෙළාදකිමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. 

“මොන පැත්තෙන්වත් හිතන්නෑ ගෝඨාභය මහත්තයා හිට්ලර් කෙනෙක් වෙයි කියන එක නම්, අපි හිතන්නෙ නැහැ. 77 හිට්ලර්ලාට විරුද්ධව සටන් කරපු පිරිසක් රාජපක්ෂලා කියන්නෙ. එවැනි ඇමතිවරුන් මං දන්නෑ මොන මතයක් ඇරන් කියනවාද, ලකුණු දාගන්න කියනවාද, එහෙම නැත්නම් රට විනාශ කරන්න කියනවාද අපි දන්නෑ. ඇත්ත වශයෙන්ම හෙළාදකිනවා ඒක. මොකද මේක මේ බුදුන් තුන්වරක් වැඩි රට මේක. අපේ ධර්ම ආභාෂය කරුණාව පදනම් කරගෙන තිබෙන්නෙ. ඉතිං මේ කාටවත් පුරසාරම් දොඩන්න පුළුවන්කමක් නෑ ඡන්ද 69 ලක්ෂයක් අරගත්තෙ අපි නිසා කියන එක කියන්න බෑ කාටවත්.

ඒ එක්කම කට ඇරලා බය නැතුව කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසවන්තකම උඩ තමයි 69 ලක්ෂයක් ඡන්ද හම්බුණේ. ජනාධිපතිවරණයෙන් ඡන්ද පන් ලක්ෂයයි වැඩිවෙලා තිබුණෙ. නමුත් අද ඒ පන් ලක්ෂය හොඳටම නැතිවෙලා ගිහිල්ලා තිබෙනවා. එනිසා ජනතාව 69 ලක්ෂයක් ඡන්දය පාවිච්චි කරලා මේ යම්කිසි කෙනෙක් කියනවා නම් හිට්ලර් වාගෙ පාලනයක් ගේන්න කියලා මං හිතනවා ඔවුන්ට වැඩිකල් නොගිහිල්ලා අපේ ජනතාව පිළිතුරු දෙනවා. ඒක වෙයි කියලා විශ්වාසයි. අද කියනවා සමහරු අපි ළඟට ඇවිල්ලා මහින්ද මහත්තයාගෙන් පස්සේ අපි කොතනද කියලා හොයන්න බැරිවෙයි කියලා” යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (13) නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 April 2021 11:05