April 24, 2024

ජනපති, අගමැති ඇතුළු මැති ඇමැතිවරුන්ගේ අවුරුදු පණිවිඩ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අලුත් අවුරුදු සුබ පැතුම 

පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳීමට පසුබිම මේ වසරේ අප සියලුදෙනා එක්ව සකසා ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවති අයහපත් සෞඛ්‍ය පසුබිම හේතුවෙන් අවුරුදු සැමරීමට නොහැකි වූ බවය.

නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්‍රදායක් බව ජනාධිපතිවරයා පවසයි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

සමස්ත ජනතාව කිසිදු භේදයකින්, වෙනසකින් තොරව සෞම්‍ය හා දැහැමි සිතිවිලි ඇතිව සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සමග එක්වනු දැකීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා එමගින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අලුත් අවුරුදු සුබ පැතුම 

මේ අතර රජය දුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විනය ගරුක ජනතාවක් ලෙස කළ කැපකිරීම නිසා, අලුත් අවුරුද්ද මේ තරමින් හෝ නිදහසේ සැමරීමට අවස්ථාව උදා වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් සෞඛ්‍ය පිළිවෙත් සිහි තබාගනිමින් සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීමක් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතාව මත පැටවෙන පීඩාවන් ආණ්ඩුව මත තබා ගනිමින් රජය සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යමත් කිරීමේ වෑයමක නිරතව සිටින බව සිංහල දමිළ අලුත් අවුරුද්ද  වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අලුත් අවුරුදු සුබ පැතුම 

චිරාත් කාලයක් මුළුල්ලේ පැවතගෙන එන සංස්කෘතිකමය හරය විදහා දක්වන මුදුන්මල්කඩක් ලෙස සිංහල හින්දු අලුත් අවුරුද්ද හඳුන්වා දිය හැකි බව අලුත් අවුරුද්දට සුබ පතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

වසර දහස් ගණනක් තිස්සේ මෙරට ජනතාව ඉමහත් උත්කර්ෂවත් ලෙස මේ මහා සංස්කෘතික මංගල්‍යය සැමරූ අතර එක් අතකින් ජාතික සමගියේත් තවත් අතකින් සහජීවනය සහෝදරත්වය බෙදාහදා ගැනීම වැනි යහ සංකල්ප කුලුගන්වන උත්සවයක් ලෙසත් අලුත් අවුරුද්ද විශේෂිත වෙයි.

මානවයා සහ සොබාදහම අතර පවතින්නේ අන්‍යෝන්‍ය බැදීමක් මෙන්ම අන්‍යෝන්‍ය අරගලය කි.එම අරගලය තුළ මානවයා තාවකාලික ජයග්‍රහණයක් අත්පත්කරගෙන ඇතත් සොබාදහමට සමීපවීම මිස සොබාදහමින් දුරස් වීම මානව වංශකතාවේ පැවැත්මට හිතසුව පිණිස නොවන බව අදවනවිට වෙන කවරදාටත් වඩා තිර ලෙස සනාථ වී තිබේ.

එබැවින් සොබාදහම සමගවන ජීවිතයේ වටිනාකම ඉස්මතු කරන සිංහල හින්දු අලුත් අවුරුද්ද වැනි සංස්කෘතිකමය උත්සව අවශ්‍යයෙන්ම සමාජයටත් ලෝකයටත් ආශිර්වාදයක් වෙයි .

සොබාදහමේ ආශිර්වාදයෙන් තමන් උපයා සපයාගත් ධන ධාන්‍යවල අග්‍රඵලය බුදුන්,දෙවියන් වෙත පූජා කරමින්ද,ලෝකයේ පැවැත්මෙහි තීරණාත්මක මෙහෙවර ඉටු කරන සූර්‍යයාට කළගුණ දැක්වීමද චිරාත් කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයන් සිදු කළ සහ සිදු කරන පුණ්‍ය ක්‍රියාවකි.

මෙවරද,සිංහල අලුත් අවුරුද්ද උදා වූයේ කොහාගේ හඬින් නොව කොරෝනාවෙන් ප්‍රවේසම් වන්න යැයි කරනු ලබන නිවේදනවල හඬිනි.

සශ්‍රීකත්වයේ පාඩම කියා දෙන සුවිශේෂී උත්සවයක් වන අලුත් අවුරුද්ද මෙවර උදාවූයේ පිරිසිදු කෑම වේලක් පිස ගැනීමේ දෙගිඩියාව තුළ පවා පුරවැසියන් ව කොටු කරමිනි.

දෙවසරක් තිස්සේ ලෝකවාසී සියලු දෙනා මුව ආවරණ පැළැද ජීවත් වන අතර ඊට හේතු වූ වෛරසය පරාජය කිරීමට මෙතෙක් කිසිවෙකු සමත්ව නැත.

අභාග්‍යසම්පන්න කාලසමයක් තුල සකල ලෝකවාසීන්ටම අලුතින් සිතිය යුතු පාඩම සොබාදහම විසින් නිහඩවම කියාදී ඇත.

මෙවන් තත්ත්වයක් තුළ මෙවරද සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවී ඇති අතර, මිනිස් සංහතියට යහපත,උදා කරන ශ්‍රී සුබ අලුත් අවුරුද්දක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.

අනුරාධ ජයරත්න මහතාගේ අලුත් අවුරුදු සුබ පැතුම

සුර්ය දිව්‍ය රාජයාණන්ගේ අනුහසින් පාරම්පරික සංස්කෘතික අංගයන්ගෙන් පරිපුර්ණව ජෝතිශ්‍යවේදයේ නිගමනයෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වේ. සුර්යා මිණ රාශ්‍රියේ සිට මේෂ රාශ්‍රියට පැමිණිමත් නිවැරදි නැකැත් භාවිතයත් ඒ අනුව නිවැරදි චාරිත්‍ර සිදු කිරිමත් තුළ ආරම්භ කරන නව අවුරුද්ද නිදුක් නිරෝගි සුවය,සාමය,සමගිය,සෞභාග්‍ය පිරි වසරක් වන බව සියලු දෙනාගේ විශ්වාසයයි.

අතිතයේ සිටම සාමාන්‍ය ජනතාවගේ මෙන්ම රජුන්ගේ පිළිවෙතද වුයේ සොබාදහම දේවත්වයෙන් සැලකීමයි. වසන්තශ්‍රියෙන් හැඩ වි සොබාදහම අලුත් වෙමින් එලැබෙන සිංහල දමිළ අලුත් අවුරුද්ද ජාති ආගම් බේදයෙන් තොරව එක් වි සැමරිය යුතුය. ශ්‍රී ලාංකිකයන් වශයෙන් උදා වන අලුත් අවුරුද්දේ අප සියලු දෙනාගේ සුභවාදි ආකල්පමය පරිවර්තනයක් ලාංකීය ජන සමාජය තුළ ඇති කිරිමටත් වග බලා ගනිමින් නිදුක් නිරෝගි සුවදායි සංවර්ධනයෙන් පිරිපුන් සුභම සුව අලුත් අවුරුද්දක් වේවා යන්න මාගේ ප්‍රාර්ථනයයි.

විමල් විරවංශ මහතාගේ අලුත් අවුරුදු සුබ පැතුම

සිංහල - බෞද්ධ සහ දෙමළ - හින්දු ජන කොටස් පමණක් නොව මුළුමහත් ලාංකේය ජාතියම ඒකාත්මික කෙරෙන තවත් ජාතික අලුත් අවුරුද්දක් අදට (14) යෙදී තිබේ.

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය හේතුවෙන් ගෙවී ගිය වසරේ ජාතියක් ලෙස අපට අපගේ ශිෂ්ටාචාරගත උරුමයන් සිහිපත් කර දෙන ඒ මහා සංස්කෘතික උළෙලේ අසිරිය විඳ ගත නොහැකි විය. 2019 වසරේ ලැබුවාවූ ජාතික අලුත් අවුරුද්ද ගෙන ආ ප්‍රබෝධය උදුරා ගනු ලැබූයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විසිනි. ලොවටම ආදර්ශයක් වෙමින් කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව පාලනය කිරීමට හැකිවීම හේතුවෙන් වසර කිහිපයකට පසුව අපට ජාතියක් ලෙස අවුරුදු උළෙලක අසිරිය විඳ ගැනීමේ භාග්‍යය උදා වී තිබේ. අප ඉදිරියේ මේ වසරේ රටක් ලෙස ඇත්තේ අභියෝග රැසකි.

එක් පසෙකින් ජාතියට ඉස්ලාම් අන්තවාදය විසින් එල්ල කොට ඇති අභියෝගයට මුහුණ දීමට සිදුව තිබේ. අප රජයක් ලෙස කටයුතු කරමින් සිටින්නේ ජාතියට කවර ආකාරයකවත් මර බියක්, ත්‍රස්තවාදයක් ඇති නොවන ලෙස අවශ්‍ය පියවර ගනිමිනි. දේශයේ දූ පුතුන් රැකියා වියුක්තියෙන් මුදවා ගනිමින් උපාධිධාරීන් පමණක් නොව අවම අධ්‍යාපන සුදුසුකම් සහිත වූවන් ද ඇතුළු ලක්ෂ එකහමාරක පමණ පිරිස රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ ද මේ වසරේ ය. ඒ තුළින් රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් කඩිනම් ග්‍රාමීය සංවර්ධනයක් අපේක්ෂා කළ හැකිය. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැනි රටට සතුරු ගිවිසුම් අවලංගු කරමින් ද ජිනීවා මානව හිමිකම් උගුලට පය නොතබමින් ද යන අපේ රජය මේ රටේ ස්වෛරීත්වය තහවුරු කර දෙමින් සිටියි.

නමුත් මෙවැනි සාර්ථක ගමනක් යමින් සිටින විට දෙස් විදෙස් කුමන්ත්‍රණකාරී බලවේග එම ගමන අනෙක් පසට හැරවීමේ උත්සාහයක නිරතව සිටියි. 'රටේ සම්පත් විකිණීම, රාජ්‍ය නායකයාගේ නාස්තිය' ආදී චෝදනා නොමැති ආණ්ඩුවක් බිහිව ඇති මොහොතක බංකොලොත් බලවේග, ආනයනික පොල්තෙල්වල පිළිකාකාරක සංයෝග ඇති බව ආණ්ඩුව විසින් මැදිහත්වී හඳුනාගත් පසුව හැසිරෙන්නේ මෙම උත්සව සමයේ 'කැවුම් - කොකිස්' බැඳීම පිළිබඳ ඉමහත් භීතිකාවක් මවමිනි. මේ බංකොලොත්, රටට එරෙහි බලවේගවලට ආණ්ඩුවට එරෙහිව අවි අමෝරා ගැනීමට ප්‍රබල මාතෘකා නොමැති පැයක ඔවුන් දුබල මාතෘකා අල්ලාගෙන විකාරරූපී රංගනයන්හි යෙදෙන බව ද මේ මොහොතේ රටට හිතැති සියලුදෙනාට සිහිපත් කළ යුතුව ඇත.

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් ජාතියක් ලෙස අපට ඇති බවත් එහි අඩුපාඩු නැති කොට වඩා සවිමත්ව ඉදිරියට යාමේ වගකීම රජයක් ලෙස අප සතු බවත් ජාතියට සිහිපත් කරන අතර කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය බලගන්වන්නේ ද ඉහත ගමන අර්ථාන්විත සහ බලසම්පන්න කිරීමට බවත් සඳහන් කරනු කැමැත්තෙමි. සැමට සුබ ජාතික අලුත් අවුරුද්දක් වේවා!

අනුර කුමාර දිසානායක මහතාගේ අලුත් අවුරුදු සුබ පැතුම

අලුත්වන සිතුම් පැතුම් සමඟ අප හමුවේ ඇති අභියෝගයන් ද සැලකිල්ලට ගනිමින් සෞභාග්‍යමත් දේශයක් උදෙසා නව මාවතක ගමන් කිරීමට කාලය එළැඹ ඇති බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා එකිනෙකා අතර බැඳීම් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලොව ඉදිරියේ නව ජවයකින් නැගී සිටීමට මෙවර අලුත් අවුරුදු උදාවේ ප්‍රාර්ථනා කරමින් ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු සුබ පැතුම් එක් කරයි.

සිංහල සහ දෙමළ ජනතාව මහත් උත්සවාකාරයෙන් සමරනු ලබන අලුත් අවුරුද්ද 2021 අප්‍රේල් 14 දින උදාවෙයි. කොවිඩ් 19 වසංගත තත්වය තවමත් පහව නොගිය තත්වය තුළම වුවද ලාංකේය ජනතාවගෙන් වැඩිම පිරිසක් විසින් මහත් උත්සවාකාරයෙන් සමරනු ලබන මෙම සංස්කෘතික උත්සවය වෙනුවෙන් අපි සුභාශිංශන එක්කරනු කැමැත්තෙමු.

සාම්ප්‍රදායික ජ්‍යොතිෂය විශ්වාසය අනුව අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙන්නේ, සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වෙමින් චක්‍රයක් සම්පූර්ණ කිරීමය. සෑම අතකින්ම අලුත් බව හා බැඳෙන බවට විශ්වාසය කෙරෙන නව අවුරුදු උත්සවය විසින් මෙරට ජනතාවට සාධනීය ලෙස බලපාන සමාජ සංසිද්ධියක් නිර්මාණය කරනු ලබයි. නිවසේ ඇති ද්‍රව්‍යවල සිට පුද්ගල ජීවිතයේද පවත්වාගෙන පැමිණි අනවශ්‍ය දෑ ඉවත් කර නැවුම් බවකින් පුරවා ගැනීමට මෙන්ම මෙතෙක් තමන් ආ ගමන දෙස අලුතින් සිතා බැලීමටද එය විසින් ජනතාවට ඉඩකඩ ලබාදෙයි. 

2021 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ, ශ්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම කොරෝනා වෛරසයට මුහුණ දීමෙන් පසුව එළඹෙන දෙවන අවුරුදු කාලය ලෙසය. රෝගය තවමත් සමාජයේ පවතින මෙම අභියෝගකාරී වාතාවරණයක් තුළ සාම්ප්‍රදායික අලුත් අවුරුදු උත්සවවලින් ඔබ්බට යමින් සෞඛ්‍යාරක්ෂිතව අවුරුදු සැමරීමට සිදුව ඇති බවට සැකයක් නැත. එහි තේරුම කොවිඩ් 19ට එරෙහිව ප්‍රමාණවත් තරම් එන්නත්කරණයක් සිදු නොවූ රටක අවුරුද්ද හා බැඳුණු සියලු ක්‍රියාකාරකම් පවුලේ සාමාජිකයන්ට හා සමීපතමයන්ට සීමා කර ගනිමින් පවත්වා ගැනීමට සිදුව ඇති බව තේරුම් ගැනීමය. 

අනෙක් අතට දිනෙන් දින දුෂ්කර වෙමින් පවතින ආර්ථික වාතාවරණය තුළ ජීවිතය පවත්වා ගැනීම දිනෙන් දින අභියෝගයක් බවට පත්වෙමින් යද්දී අතිමහත් ජනතාවකට අවුරුදු සැමරීම පිළිබඳව සිතීම පවා වේදනාකාරී අත්දැකීමක් විය හැකිය. මන්ද පසුගිය වසර 73ක කාලය පුරාවටම ශ්‍රී ලංකාවේ පැවති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුවද ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සැපිරීමට, ජනතාවගේ ගැටලු  විසඳීමේලා දැක්වූ අසමත්කම තවත් වසරකින් දිගු වී ඇති නිසාය. සුපුරුදු ලෙස නව බලාපොරොත්තු මැද උදා වන නව වසර, පරණ අවුරුද්ද බවට පත් වී ජනතාවගේ අපේක්‍ෂා බිඳ දමමින් ගතවී යයි. මෙසේ වී ඇත්තේ පැවති හා පවතින ආණ්ඩු විසින් ලාංකේය සමාජය ජනතා අපේක්ෂා සුන් කරන එකම දුෂ්ට චක්‍රයක ගමන් කරවීම නිසාය. රටත් ජනතාවත් මෙතරම් ආර්ථික හා සමාජීය වශයෙන් පීඩාවට පත්වීමට මෙම පාලනයන්හි දායකත්වය කිසිවෙකුටත් ප්‍රතික්‍ෂේප කළ නොහැක. අවම වශයෙන් ජනතාවට වස විෂෙන් තොර ආහාර වේලක් ලබා දීමට පවා මෙම ආණ්ඩු අද වන විට අසමත් වී තිබේ. මෙම තත්වය කෙතරම් කණගාටුදායකද යත් අවුරුද්ද හා බැඳුණු ආහාර සංස්කෘතියේ අනිවාර්ය අංගයක් වන පොල්තෙල් පවා පිළිකාකාරකවලින් තොර බවට සහතිකයක් ලබා දීමට ආණ්ඩුවට හැකියාවක් නැත. 

මෙවැනි තත්වයක් තුළ චක්‍රයක් සම්පූර්ණ කරමින් උදාවන අලුත් අවුරුද්ද, දුෂ්ට රාශියෙන් රට මුදා ගෙන ජනතාවගේ ගැටලු සැබෑවටම විසඳන නව චක්‍රයක් දක්වා ගමන් කරවීමට අදිටන් කරගන්නා නිමිත්තක් කර ගත යුතුව තිබේ. මෙතෙක් රට විනාශකාරී ගමනක රැගෙන ආ නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය හැරෙන්නට ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා වන විකල්ප ආර්ථික උපායමාර්ගයක් මෙම පාලකයින්ට නැත. ඔවුන් දවස ගෙවා ගැනීමේ තාවකාලික විසඳුම් සොයන්නේ රාජ්‍ය දේපළ, ස්වභාවික සම්පත් විදේශයන්ට හා විදේශීය සමාගම්වලට විකිණීමෙනි; පරිසරය බිල්ලට දීමෙනි; විදේශයන්ගෙන් ලැබෙන ණය හා ප්‍රදාන කොල්ලකෑමෙනි. 

මෙම සමාජ ආර්ථික ක්‍රමයෙන් ඉතාම ඉක්මණින් බැහැර විය යුතු බවටත් වඩා මානුෂීය හා පාරිසරික බැඳීම් ඇති සාධාරණ සමාජයක් වෙතට ඉක්මණින්ම මාරු විය යුතු බවටත් පවතින අසාර්ථක සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය විසින් අපට බල කරනු ලැබ ඇත. මෙවැනි වටපිටාවක සෑම ක්ෂේත්‍රයකම අලුත් බව අපේක්ෂා කරන අලුත් අවුරුද්ද විසින් අපට යෝජනා කරන අලුත් බවට, නව සමාජ ආර්ථික ක්‍රමයක් ගොඩනගා ගැනීම පිළිබඳ බලාපොරොත්තුවද එකතු විය යුතුයැයි අපි සිතමු. විශේෂයෙන් රටේ වසර 73ක අසාර්ථක ගමනද වත්මන් ආණ්ඩුවේ අසමත්භාවයද  ඒ පිළිබඳව විවේක මනසින් සිතා බලන්නට ජනතාවට අවස්ථාව විවර කර දී ඇත. 

අලුත් අවුරුද්ද සැබැවින්ම සුබ වීමට අවශ්‍ය වනුයේ බහුතර ජනතාවක් විසින් තමන් එතෙක් වැළඳ ගෙන සිටි ජරාජීර්ණ ආකල්පවලින් මිදී නව ගමනක් යාමට නව අධිෂ්ඨානයක් කුළු ගන්වා ගැනීමය. එසේම රටත් ජනතාවත් සැබෑ ජයග්‍රහණ කරා රැගෙන යන සහ නව සමාජයක් ගොඩනඟන නව දේශපාලන ගමනක් වෙනුවෙන් පෙළගැසීමට එළඹෙන අලුත් අවුරුද්ද නව ජවයක් කර ගනු ඇතැයිද එකම ලාංකේය ජාතියක් බවට ගොඩනැගෙන ජාතික සමගියේ නිමිත්තක් බවට ජනතාව විසින් එය පත්කරගනු ඇතැයිද අපි බලාපොරොත්තු වෙමු.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 April 2021 10:39