April 19, 2024

ශ්‍රීලනිපයේ වැඩ නිසා පොහොට්ටුව කලබලේ: හදිසි සාකච්ඡාවකුත් කැඳවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම පක්ෂයක් ලෙස ශක්තිමත් වීමට ගන්නා ක්‍රියාමාර්ග හේතු කොටගෙන පොදුජන පෙරමුණ තුළ යම් කලබලකාරී තත්ත්වයක් ගොඩනැගී ඇති බැව් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මීට ටික දිනකට පෙර ශ්‍රීලනිපය සමග හදිසි සාකච්ඡාවක් අවශ්‍ය බව පොදුජන පෙරමුණ දැනුම්දී තිබුණේ පළාත් සභා මැතිවරණයට තනිව ඉදිරිපත් වීමට ශ්‍රීලනිපය ගන්නා පියවර පිළිබඳව ඇතිවූ අර්බුදකාරී තත්ත්වය නිසාය.

පොදුජන පෙරමුණේ ඉල්ලීම මත ශ්‍රීලනිපය සමඟ පැවැති මෙම රැස්වීමේ මුලසුන බැසිල් රාජපක්ෂ මහතා හෙබ වූ අතර ඊට ශ්‍රීලනිපය නියෝජනය කරමින් මහ ලේකම් දයාසිරි ජයසේකර,ජාතික සංවිධායක දුමින්ද දිසානායක,ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මෙන්ම ලසන්ත අලගියවන්න මහතා සහභාගි වී තිබේ.

පොදුජන පෙරමුණ වෙනුවෙන් එම සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ මහතාට අමතරව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් සහ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්,පාලක ලේකම් රේණුක පෙරේරා යන මහත්වරුන් සහභාගි වී ඇති අතර එහිදී පළාත් සභා ඡන්දයේ දී එකට ඡන්දෙ ඉල්ලමු කියා යෝජනා රැසක් ඉදිරිපත් වී තිබෙන බව සාකච්ඡාව ආරම්භ කරමින් ශ්‍රීලනිප නියෝජිතයින් ප්‍රකාශ කොට තිබේ.

ඊට පිළිතුරු දෙමින් පොදුජන පෙරමුණේ නියෝජිතයින් සඳහන් කර තිබෙන්නේ එකට පළාත් සභා මැතිවරණයට තරග කිරීම පිළිබඳ තීන්දුව ශ්‍රීලනිපය ගතයුතු බවත් එකට ඉල්ලීම වඩාත් හොඳ තීන්දුව බවය.

එහිදී ශ්‍රීලනිපයට අනතුරු අඟවමින් පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා සඳහන් කොට තිබෙන්නේ 1975 දී සමගි ආණ්ඩුවෙන් වාමාංශික පක්ෂ එළියට ගොස් මැතිනියට කළ දේ මෙන්ම 2015දී එවකට ශ්‍රීලනිපයේ මහ ලේකම් එක්සත් ජාතික පක්ෂයත් සමග ගොස් මහින්ද රාජපක්ෂ මහතාට කල දේ යළි සිදුවීමට ඉඩ නොතබන බවය.

නියම සතුරා හඳුනාගෙන පරාජය කරන බවත් විරුද්ධවාදීන් දිනා ගන්නා බවද රේණුක පෙරේරා මහතා එහිදී ශ්‍රීලනිප නියෝජිත පිරිස අමතා ප්‍රකාශ කොට තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් පසුව පොදුජන පෙරමුණ සමග පැවති සාකච්ඡාවේ ඉදිරිපත් වූ යෝජනා පොදුජන පෙරමුණ ආණ්ඩුව තුළ සිටින ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ වෙනම රැස්වීමක් තබා සාකච්ඡා කොට තිබෙන අතර ඊට හිටපු ජනපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගී වී ඇති බව වාර්තා වේ.

ශ්‍රීලනිපය පළාත් සභාවට වෙනම තරග කිරීමට පමණක් නොව එළඹෙන මැයි දිනයද වෙනම පොළොන්නරුවේ දී පැවැත්වීමට මේ වන විටත් තීරණය කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 April 2021 09:14