March 28, 2024

පොහොට්ටුව ජාතිවාදී පැත්තට තල්ලු කිරීමේ තැතක් - ඇමතිගෙන් හෙළිදරව්වක්

ග්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතිවාදී පක්ෂයක් නොවන බවත් සමහරු ජාතිවාදී ගොඩට ඇදගෙන යන්න උත්සාහ කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය. 

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් රැසකට ඊයේ (10) දින සහභාගී වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

"ග්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතිවාදී පක්ෂයක් නෙමෙයි. සමහරු ජාතිවාදී ගොඩට අපිව ඇදගෙන යන්න හදනවා. අපි ජාතිවාදී පක්ෂයක් නොවන බව පැහැදිළිවම කියනවා. ග්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු ජාතීන් සමඟ වැඩ කරන පක්ෂයක්. සියලු ආගම් සමඟ එකතු වෙලා වැඩ කරන පක්ෂයක්. සමහර පක්ෂ ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දුවනවා. ඒක ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ග්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලුම ශ්‍රී  ලාංකිකයන්ගේ පක්ෂයක්. එහි අපි ජාති, ආගම්, පක්ෂ බේද බලන්නේ නැහැ. ඔවුන් යූ.එන්.පීද, ග්‍රී ලංකාද, පොහොට්ටුද කියල බලන්නේ නැහැ. අපි රටක් විදියට සියලු දෙනා වෙනුවෙන් රට දියුණු කරන්න, ආර්ථිකය සංවර්ධනය කරන්නයි බලන්නේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පළාත් සභා මැතිවරණය අපි ඉක්මනින් තියෙනවා. ඒ සඳහා නීති සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට එම අණපනත් ගෙන එනවා. පළාත් සභා ක්‍රමය මේ රටේ ස්ථාපිත වෙලා තියෙන ක්‍රමයක්. දැනට අහෝසි කරන්න විදියක් නැහැ. පළාත් සභා මැතිවරණය ඉක්මනින් තියලා ජනතාවගේ සර්ව ජන ඡන්දයට අයිතියක් ලබාදෙනවා. 

පළාත් සභා මැතිවරණය තියන්න එපා කියලා එක එක්කෙනා කිව්වට, ප්‍රජාතන්ත්‍රවාදී රටක, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව අපිට කටයුතු කරන්න බැහැ. පළාත් සභා මැතිවරණය තියන එක ජනතාවගේ අයිතියක්. අපි කොට්ඨාස ක්‍රමය පළාත් සභාවට හඳුන්වා දෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ කොට්ඨාස ක්‍රමය. නමුත් සමහර අය, සමහර පක්ෂ පරණ ක්‍රමයට යමු කියනවා. කොට්ඨාසය තුළත් අපේක්ෂකයෝ තුන්දෙනෙක්, දෙදෙනෙක් දාන්න පුළුවන් වෙන්න ඕන. පක්ෂයට ඡන්දය දෙනවා. හැබැයි ඉල්ලන පුද්ගලයාට කැමති නැහැ. අකමැත්තෙන් මනාපය දෙනවා. එය ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී අපි දැක්කා. දැන් මෙම ක්‍රමය තුළත් සුදුස්සන් තෝරන්න පුළුවන්. එම අයිතිය ජනතාවට ලැබෙනවා. 

මේ සඳහාත් සමහර අය විරුද්ධ වෙනවා. රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට දෙද්දී විරුද්ධ වෙන්න බැහැ. තමන්ට කැමති පක්ෂයකට ඡන්දය දෙන්න පුළුවන්. කැමති අපේක්ෂකයෙක් තෝරන්න පුළුවන්. එක එක අය කෑගැහුවට ජනතාවට තියෙන අයිතියක් අපිට නැති කරන්න බැහැ." යැයි රාජ්‍ය අමාත්‍යවරයා කීය.

 

Rate this item
(0 votes)