April 19, 2024

පොහොට්ටු මැයි රැළියට ගියොත් "හූ" සංග්‍රහයක් ලැබේදැයි විමල්ට සැකයක්

පොදුජන පෙරමුණේ මැයි රැලියේදී තමන්ට " හූ " සංග්‍රහයක් හෝ වෙනත් ආකාරයක විරෝධතා ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට සැකයක් විමල් වීරවංශ අමාත්‍යවරයා තුළ තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පොදුජන පෙරමුණ සමග නොමැතිව ශ්‍රීලනිපය සමඟ මැයි රැලිය පැවැත්වීම පිළිබඳ විමල් වීරවංශ අමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කරන්නේ පොදුජන පෙරමුණේ මැයි රැළියට සහභාගි වූවොත් තමන්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට යම් සංවිධානාත්මක පිරිසක් සිටින බවට වීරවංශ අමාත්‍යවරයාට ලැබී තිබෙන තොරතුරු මත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙවර වෙනම මැයි රැලියක් පැවැත්වීම පිළිබඳව ශ්‍රීලනිපය කලක පටන්ම ප්‍රකාශ නිකුත් කරමින් සිටි අතර ආණ්ඩුවම නියෝජනය කරන පක්ෂ 12 විකල්ප කණ්ඩායමද ශ්‍රීලනිපයත් සමග එක්ව මැයි දිනයක් පැවැත්වීම පිළිබඳව මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.

එයින් එක් සාකච්ඡාවක් ඉකුත් දිනෙක ශ්‍රීලනිප මූලස්ථානයේ හිටපු ජනපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විකල්ප කණ්ඩායම නියෝජනය කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර මහතා ඇතුළු පිරිසක් පැවැත්වූ සාකච්ඡාවේදී පොදුජන පෙරමුණට පරිබාහිරව වෙනම මැයි දිනයක් පැවැත්වීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබේ.

මේ සම්බන්ධයෙන් වූ අවසාන තීන්දුව එළඹෙන 19 වැනි දින ගන්නා බව පක්ෂ 12 විකල්ප කණ්ඩායම නියෝජනය කරන උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඒෂියන් මිරර් වෙත ප්‍රකාශ කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Sunday, 11 April 2021 01:50