April 25, 2024

“තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරනවා”

වත්මන් ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙලට අකුල් හෙලන්න, බාධා කරන්න විපක්ෂයත් ජාත්‍යන්තරයත් මාන බලමින් සිටින බවත් තුත්ඉරිගහක්වත් ඉන්දපු නැති මිනිස්සු පරිසරය ගැන කතා කරන බවත් පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්. හේමන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභ්‍යාගයේ දැක්ම වැඩසටහන තුල පිබිදෙන පානදුර සංවර්ධන ව්‍යාපෘතිය මාලාවේ එක් වැඩසටහනක් අද (10) දින පානදුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය.

එහිදී පානදුර ස්වර්ණජෝති මාවතේ අඩුආදායම් ලාභී පවුලක් සඳහා නව නිවසක් ලබා දීම සිදු කරනු ලැබූ අතර ඒ සඳහා රජයෙන් සහ ප්‍රාදේශිය සභා සභාපතිවරයාගේ අනුග්‍රහයෙන් රුපියල් මිලියන 1.2ක මුදලක් වියදම් කර තිබේ.

ඊට අමතරව පවුල් 150ක අධික ප්‍රමාණයකට සනීපාරක්ෂාව සඳහා පානදුර බෙක්කේගම පුන්සරවතත් ප්‍රදේශයේ පොදු නාන පොකුණක් විවෘත කරනු ලැබීය. ඊට අමතරව මේ වන විට සමාජයේ විශේෂ කතාබහට ලක්වන වන විනාශයට පානදුර ප්‍රාදේශීය සභාවෙන් පිළිතුරු සපයපු සභාපතිතුමාගේ මග පෙන්වීම යටතේ අප්‍රේල් මාසය තුළ පැල 5000ක් රෝපණය කිරීම අද දින 10.48ට යෙදුනු සුභ මොහොතින් පානදුර ප්‍රදේශයේ ස්ථාන 10කදී පැල 300ක් රෝපණය කරන ලදි.

අද දිනය පුරා පාසල් ළමුන් සඳහා පොත් බෙදාදීම, ප්‍රදේශයේ කසල කළමනාකරනය වෙනුවෙන් ට්‍රැක්ටර් රථ 5ක් ජනතා අයිතියට පත් කිරීම සිදු කරනු ලබන අතර බෙක්කේගම තරුණ ක්‍රීඩා සමාජයේ වොලිබෝල් ක්‍රීඩා පිටිය විවෘත කිරීමද සිදු කරනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්. හේමන්ත ප්‍රනාන්දු මහතා පැවසූවේ ”අතිගරු ජනාධිපතිතුමාගේත් අග්‍රාමාත්‍යතුමාගේත් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේත්, පූර්ණ ආශීර්වාදය මැද තමා මේ රට මේ විදිහට සංවර්ධනය වෙන්නේ. මේ වර්ෂය තුළ පානදුර ප්‍රාදේශිය සභාවේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් නව නිවාස 39ක් ලබාදී තිබෙනවා. ඉදිරි වර්ෂ කිහිපය තුල පානදුර ප්‍රාදේශීය සභා සීමාවේ තෝරා ගත් අඩු අදායම්ලාභී පවුල් සඳහා නොමිලේ නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් සිදුකරන බව මා සතුටින් දන්වා සිටිනවා.”

“සමෘද්ධිය වෙනුවට රැකියා ලක්ෂයක් දෙන වැඩසටහන ආරම්භ කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. දිලිදුකම නැති කරන්න රටේ සංවර්ධනය වැඩි කරන්න. අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් කරගෙන යන වැඩපිළිවෙලට අකුල් හෙලන්න බාධා කරන්න විපක්ෂයත් ජාත්‍යන්තරයත් මාන බලමින් සිටිනවා. තුත්ඉරිගහක්වත් ඉන්දපුනැති මිනිස්සු පරිසරය ගැන කතා කරනවා. මේ රටේ හොඳම පරිසරවේදියා තමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මේ  ආණ්ඩු පෙරලන්න විපක්ෂය අද අල්ල ගන්නවා පරිසර ප්‍රශ්නය. කවුරු කෙසේ කීවත් රටේ සංවර්ධනව නවත්වන්න කිසි කෙනෙකුට බෑ. සුරපුරයක් වෙලා තිබුණු කොළඹ පාවෙන වෙළෙදසැල් පසුගිය ආණ්ඩුව විනාශ කරලා ජරා ජීරණ කලා. දැන් ඒවා නැවතත් ප්‍රතිසංස්කරණය කරලා ජනතා අයිතියට පත් කලා. ආණ්ඩුව දෙකඩ කරන්න අපි අතර ප්‍රශ්න ඇති කරන්න මාන බලන උදම් අනන අයට මම කියන්න කැමතියි. අපේ ආණ්ඩුවෙන් අපි ඒවට පිලිතුරු දෙන්නේ බොරු කයියෙන් නෙමෙයි. ඇස් ඉදිරිපිට පෙනෙන සංවර්ධනයෙන්.”

Rate this item
(0 votes)