April 19, 2024

අත්අඩංගුවට ගත් යාපනයේ පුරපතිගෙන් TID ප්‍රශ්න කරයි

යාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් පස් දෙනෙකුගෙන් යුතු යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවීමේ චෝදනාව යටතේ යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා අද (09) අලුයම් අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

එලෙස යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් යාපනය මහනගරාධිපති වරයා අද උදෑසනම වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා යාපනය පොලීසියේ සිට වව්නියාව ත්‍රස්ත විමර්ශන ඒකකයට රැගෙන ඒමට කටයුතු යොදනු ලැබීය.

යාපනය නගර ආරක්ෂක බලකායක් ලෙසින් පුද්ගලයින් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නිර්මාණය කොට ඔවුන් වෙනුවෙන් වෙනම නිලඇඳුමක්ද හඳුන්වා දී තිබූ අතර අදාල නිලඇඳුම සම්බන්ධයෙන් දැඩි කතාබහකට ලක් වූවේ එය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පොලිස් සාමාජිකයින් විසින් පැළඳී නිලඇඳමට බෙහෙවින් සමාන වීම හේතුවෙනි.

කෙසේ වෙතත් අදාල බලකාය සමබන්ධයෙන් යාපනය පොලීසිය දැනුවත් නොකිරීම පිළිබඳව ඊයේ (08) දිනම යාපනය මහනගරසභා කොමසාරිස් වරයා ඇතුලු එම බලකායේ සාමාජිකයින් පස් දෙනාද පොලීසියට ගෙනවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අද අලුයම යාපනය මහනගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

තහනම් ත්‍රස්ත සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීම හෝ, එම සංවිධානයේ නිලඇඳුම් හා ලාංචන ප්‍රදර්ශනය කිරීමද ත්‍රස්තවාදය වැලක්වීම පනත යටතේ තහනම් ක්‍රියාවක් වෙයි.

කෙසේ වෙතත් යාපනය මහනගරාධිපති අදාල බලකාය සමබන්ධයෙන් පවසා සිටින්නේ මෙම බලකාය පිහිටුවන ලද්දේ යාපනය නගරයේ පිරිසිදුබාවය හා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වෙනුවෙන් බවටත් වෙනත් කිසිදු අරමුණක් නොමැති බවටත්ය.

මේ අනුව පොලිස් අත්අඩංගුවේ සිටි යාපනය මහනගරාධිපතිවරයා මේ වන විට වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා වව්නියාව ත්‍රස්ත විමර්ශන ඒකකයට රැගෙන විත් වැඩිදුර ප්‍රශන කිරීම සිදුකිරීමට නියමිතව ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 April 2021 11:05