March 29, 2024

රන්ජන්ගේ හිස්වූ මන්ත්‍රී පුටුව හිටපු මන්ත්‍රීට

රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ආසනය සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අජිත් මාන්නප්පෙරුම මහතා පත් කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

මාන්නප්පෙරුම මහතා පසුගිය වසරේ පැවැති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවේ රන්ජන් රාමනායක මහතාට පසුව ඊළගට වැඩි මනාප සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයාය.

ඒ මහතා එම මැතිවරණයේදී මනාප ඡන්ද 47,212ක් හිමිකර ගනිමින් ගම්පහ මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව තිබුණි.

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ආසනය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති හෙයින් එම කොමිසමේ උපදෙස් මත ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිවරයා විසින් එම මන්ත්‍රී පුරප්පාඩුව සඳහා අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ඉදිරිදිනවල යෝජනා කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

අද (07) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මේ බව දැනුම් දී ඇති බවය.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරුවීම හේතුවෙන් සිව් වසරක සිරදඩුවම් නියමවී සිටින රන්ජන් රාමනායක මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිකිරිම වැලැක්විමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම පසුගිය දා අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළේය.

Rate this item
(0 votes)