April 20, 2024

කොමිෂන් සභා වාර්තා ජනාධිපති කාර්යාලයෙන් එළියටවත් ගිහින් නෑ - ඇමැති ජොන්ස්ටන්

ඉතිහාසයේ ඕනතරම් කොමිෂන් පත් කර තිබුණද ඒ කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට තියා ජනාධිපති කාර්යාලයෙන් එළියටවත් ගොස් නැතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කළේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද(07) දින පැවැති රැස්වීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"ජනාධිපතිතුමා පත් කල පාර්ලිමේන්තු කමිටුවට පැවරී ඇති වගකීම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යනය කොට නැවත මෙවැනි විපතක් ඇති වීම වලක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීමයි. මේ දින වල ගරු චමල් රාජපක්ෂ ඇමතිතුමාගේ මගපෙන්වීම යටතේ එහි වැඩ කටයුතු කරලා නිර්දේශ ලබා දුන්නා. ජනාධිපතිතුමා වෙත මෙම වාර්තාව පිළිගැන් වූ දිනයේ සිට විපක්ෂය විසින් මෙය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස කෑ මොරදුන්නා. ඉන්පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල දිනයේ පටන් එහි ඇති වැරදි සහ අඩුපාඩු පිළිබදව දහසකුත් එකක් මැසිවිලි නගනවා. නමුත් මේ සිද්ධිය සිදු වුනේ කවුරුන් රට පාලනය කරන කාලයේදී කියන එක මේ අයට අමතක වෙලා වගේ ජනතාවට කරුනු ඉදිරිපත් කරන්නේ. යහපාලන කාලයේ රට අරාජික වෙලා, වගකීමක් භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවී එක එක්කෙනාට ඇගිල්ල දිගු කරමින් රටේ ජනතාව කුපිත වී සිටින වෙලාවක අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා ඉදිරියට පැමිණ මුස්ලිම් හා කතෝලික ජනතාව සමකාමීකර මහා විනාශයක් වලක්වා ගැනීමට ඉදිරිපත් වීම ගැන මම පලමුවෙන්ම අනේක වාරයක් උන්වහන්සේට ස්තුතියි වන්ත වෙනවා.

අද මේ කෑගහන විපක්ෂ නායකයා ඇතුළු මේ මන්ත්‍රීවරුන් ඒ වෙලාවේ කටක් හොල්ලලා කිව්වද පාස්කු ප්‍රහාරයේ සෑබෑ වගකිව යුත්තන් හොයා ගන්නාවා වෙනුවට තවදුරටත් ජාතික ආරක්ෂාව අනතුරේ වැටෙන විදිහට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හැසිරෙන විදිහ වැරදියි කියලා. නෑ... හැබැයි අපි භය නැතිව කිව්වා. මේ කොම්ෂන් සභා වාර්තාව ගැන කථා කරන්න ඉස්සල්ලා ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අරමුණක් නැති වගකීම් විරහිත ක්‍රියා කලාපය ගැන තමුන්නාන්සේලා ජාතියෙන් සමාව ගත යුතුයි. මේ රටේ ඉතිහාසයේ ඕනතරම් කොමිෂන් පත්කරලා තියෙනවා. ඒ කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට තියා ජනාධිපති කාර්යාලයෙන් එළියට ගිහිල්ලා නැහැ. මේක එහෙම රටක්. මිනිස්සුන්ට මේ කොමිෂන් ගැන කිසි විශ්වාසක් තිබුනේ නැහැ. ජනාධිපතිතුමා මේ කොමිෂන් වාර්තාව ලැබුණ හැටියම ඒක කැබිනට් මණ්ඩලයට දාල ඒ ගැන අධ්‍යනය කරන්න කමිටුවකුත් පත් කරලා. ඊට පස්සේ ඒ වාර්තාව මේ සභාවටත් ඉදිරිපත් කරලා. ජනාධිපති කොමිෂන් සභා පිළිබද විශ්වාසයකුයි මේ ඇති කරලා තියෙන්නේ. තමුන්නාන්සේලාට රුස්සන්නේ නැත්තේ ඒකයි. කොමිෂන් සභා වාර්තාව කෝ.. කෝ.. කිය කියා තමුන්නාන්සේලා කරපු එදාවේල දේශපාලනය ජනාධිපතිතුමා විසින් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් විමත් සමගම නැති බංගස්තාන වුණා.

ඊට පස්සේ වේල හොයා ගන්න නැතිව තමයි මේකේ අඩුපාඩු ගැන කථා කරන්න අරගෙන තියෙන්නේ. මතක තියා ගන්න මේ කොමිසම වැරදිකාරයෝ අල්ලගන්න හෝ දඩුවම් දෙන්න නඩුවක් අහලා නැහැ. විමර්ෂණයක් කරලා තියෙන්නේ. මේ විමර්ෂන පාදක කරගෙන අධිකරණ ක්‍රියාවලිය ආරම්භ වුණාම වගකිවයුත්තෝ එළියට එයි. එදාට වගකීම් පැහැර හැරපු මහත්වරුන්ගේ රෙදි ගැලවෙයි. කොමිෂන් වාර්තාවට තඩිබාලා කරපු වැරදිවලට දඩුවම් ලබන්න තියෙන අවස්ථා නැති කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 April 2021 16:49

Related items