April 24, 2024

කෝප් කමිටුවට ගිය ක්‍රිකට් ලොක්කන් ආපසු හරවා යවයි - මිලිය‍න 87ක් ගැන අවුලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු සෙසු නිලධාරීන්ගේ ධූර කාලය අවසන් වී ඇති බැවින් කෝප් කමිටුවට සහභාගී විය නොහැකි බව එම කමිටුව ඔවුනට දැනුම් දී තිබේ.

කෝප් කමිටුව හමුවේ කරුණු දැක්වීම සඳහා සහභාගිවූ හිටපු සභාපති ෂම්මි සිල්වා සහ හිටපු ලේකම් මොහාන් ද සිල්වා යන මහත්තුරු ඇතුළු නිලධාරීන් ඒ අනුව කෝප් කමිටුවට සහභාගී නොවී පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඇතුළු ස්ථිර සේවකයෝ පමණක් කෝප් කමිටුව හමුවේ පෙනී සිටියහ.

ඒ අනුව රුපියල් මිලිය‍න 87ක වියදම් කපා හැරීමක් පිළිබඳව ඊයේ (06) ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගෙන් කෝප් කමිටුව කරුණු විමසා ඇත.

කෝප් කමිටු නිලධාරීන් මේ පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්ණ කළද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිළිතුර වූයේ 2006 වසරේ සිටම මෙම වියදම් ලැයිස්තුවට ඇතුලත්ව තිබූ බවත් එය අහෝසිකර දමා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාර්ශවකරුවන් වන සාමාජිකත්වයේ පූර්ණ අනුමැතියෙන් බවයි.

"අවුරුදු 14ක් තිස්සේ ගිණුම් වාර්තාවට මේක ඇතුලත් වුණා. ඒත් ඒක පියවා ගන්න විදිහක් නැති නිසා 2020 වසර සඳහා ගිණුම් වාර්තාව සකස් කරනකොට ඒක ඉවත් කරන ක්‍රමයක් ගැන කතා කළා" යැයි  ශ්‍රී ලංකා ආයතනයේ ස්ථීර සේවයේ නියුතු උසස් නිලධාරියෙකු පවසා සිටියේය.

සුප්‍රකට විගණන සමාගමක් වන අර්නස්ට් අන්ඩ් යංග් සමාගමෙන් උපදෙස් අරගෙන, ඒ යෝජනාව ක්‍රිකට් කමිටුවට ඉදිරිපත් කරල විධායක කමිටුවෙත් අනුමැතිය අරන් අති විශේෂ මහ සභා රැස්වීමක් කැඳවල සාමාජිකයින්ගෙ අනුමැතියත් අරගෙන තමයි මේ මුදල කපා හැරල තියෙන්නෙ"

"වාර්ෂිකව රුපියල් බිලියන 7 ක වාර්ෂික පිරිවැටුමක් තියන ආයතනයක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ. අවුරුදු 14 ක් වගේ කාලයක් වෙනකොට රුපියල් බිලියන් 87 ක මුදලක් කියන්නෙ දරාගත හැකි ප්‍රමාණයක්. අපි මේ පිළිබඳව කෝප් කමිටුවට පැහැදිළි කරල දුන්නා" යනුවෙන්ද එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 April 2021 18:01