March 29, 2024

විෂ පොල් තෙල් බහාලුම් 6ක් මැලේසියාවට

"ඇෆ්ලටොක්සීන් " නැමැති   පිළිකාකාරක  පොල් තෙල් කිලෝ ග්රැම් 105,000 ක් අඩංගු බහලුම් 06 ක් යළි  මැලේසියාව වෙත ප්‍රති අපනයනය කිරීම සඳහා ඊයේ (06) දින සවස 5.00 ට කොළඹ වරායේ පිටත්වීමේ පර්යන්තය වෙත රේගු අධීක්ෂණ යටතේ භාර දුන්  බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය.

මෙම පොල් තෙල් කටාන රිෆයිනරීස් පුද්ගලික සමාගම විසින් මෙරටට ගෙන්වා තිබුණි.

මෙසේ ප්‍රති අපනයනය කළ පොල්තෙල් තොගයේ  වටිනාකම ඇමරිකානු ඩොලර් 152,250 ක් හෙවත් රුපියල් 307,54,500 ක් ( තුන් සිය හත් කෝටි පනස් හතර ලක්ෂ පන්සීයක් ) බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ආනයනකරුගේ  ගුදම  හඳුනාගෙන , එම තෙල් තොගය රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කොළඹ වරායේ පිටත්වීමේ පර්යන්තය වෙත රැගෙනවිත් තිබුණි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ අධීක්ෂණය යටතේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ ඒ.අයි.බාලසූරිය , රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂ සේනානායක , රේගු අපනයන අංශයේ අධ්‍යක්ෂ දර්ශන ද සිල්වා ඇතුළු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් , සහ අනෙකුත් රේගු නිලධාරීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 April 2021 09:53