April 20, 2024

රන්ජන්ගේ මන්ත්‍රී පුටුවට තට්ටු වෙයි? රන්ජන් ගැන කතානායකත් දැඩි තීන්දුවක Featured

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් මැතිසබයේ නිවාඩු අනුමත කළ නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවැසීය.

“මම කටයුතු කරන්නේ නීතියට අනුවයි. එතුමා වෙනුවෙන් නිවාඩු අනුමත කරන්න මට මේ මොහොතේ බැහැ. නඩු තීන්දුව මට තවම ලැබිලත් නැහැ. අධිකරණ තීන්දුවලට අපට බලපෑම් රක්න බැහැ.“ යැයි කතානායකවරයා සඳහන් කළේය.

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාට මාස තුනක නිවාඩුවක් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළ අවස්ථාවේදී කතානායකවරයා මේ බව පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා ගොනු කළ රිට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පසුගිය 05 වැනිදා තීන්දු කළේය.

පෙත්සම් සම්බන්ධයෙන් නීතිමය පදනමක් නොමැති බවට නීතිපති කළ මූලික විරෝධතාව පිළිගනිමින් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට විනිසුරු මඩුල්ල තීන්දු කරන ලදී.

රංජන්  රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වාලන අතුරු නියෝගය නිකුත් කරනවාද, නැත්ද යන්න පිළිබද නියෝගය අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර  සහ මායාදුන්නේ කොරයා මහත්වරුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.

පාර්ලිමේන්තු මහලේකම් විසින් තමාව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වාලන ප්‍රොහිබිෂන් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා මෙම පෙත්සම ගොනු කර තිබිණි.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසූවේ සිර දඬුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඉදිරි සතියේ දි එක් දිනක් හෝ මැතිසබයට නැවත පැමිණීමට නොහැකි වුවහොත් එම මන්ත්‍රී ධූරය ඉබේම අහෝසි වි යන බවයි.

සාමාන්‍යයෙන් ඕනෑම මන්ත්‍රීවරයකු නොකඩවා මාස තුනක කාලයක් පාර්ලිමේන්තු රස්වීම්වලට සහභාගී නොවුවහොත් එම මන්ත්‍රීධූර ඉබේම අහෝසි වි යන්නේ යැයි පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිව දැක්වෙන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 12 වැනි දා රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක සිර දඬුවම් නියම කරනු ලැබීය. 

ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම්වලට අඛණ්ඩව මාස තුනක කාලයක් නොපැමිණීම සම්පූර්ණවන්නේ ලබන 12 වැනි දාටය. 

රන්ජන් රාමනායක මන්‍ත්‍රීවරයා වෙනුවෙන් මැතිසබයේ නිවාඩු අනුමත කළ නොහැකි බවට කතානායකවරයා ඊයේ දැනුම් දීමත් සමඟ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී අසුන අහෝසී වීමට බොහෝදුරට ඉඩ කඩක් පවතී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 April 2021 02:11