April 24, 2024

කොට්ඨාශයට අපේක්ෂකයන් තුනේ පොහොට්ටු යෝජනාව කුඩා පක්ෂවලට ඇටවූ මර උගුලක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව සීමා නිර්ණය සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්නය ඉක්මවා පොදුජන පෙරමුණ විසින් ගෙනෙන ලද යෝජනාවක් පිළිබඳ ප්‍රශ්නය දිග්ගැස්සෙමින් තිබේ.

මෙම ප්‍රශ්නයට මුල පිරුණේ මීට ටික දිනකට පෙර පළාත් සභා ඡන්දය පිළිබඳව ජනක බණ්ඩාර තෙන්නකෝන් පළාත් සභා අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පළාත් සභා ඡන්දය පිළිබඳ නව කෙටුම්පතේ තිබූ කොට්ඨාශයකට එක් පක්ෂයකින් අපේක්ෂකයින් තිදෙනකුගේ නම් ඉදිරිපත් කිරීමේ යෝජනාව මුල් කොටගෙනය.

කොට්ඨාශ සහ සමානුපාතික ක්‍රමය මිශ්‍රව පැවැත්වූ එකම ඡන්දය වන 2018 පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයේදී එක් කොට්ඨාශයක් සඳහා එක් පක්ෂයකින් ඉදිරිපත් කළේ එක් අපේක්ෂකයෙකු පමණක් වූ අතර මෙම නව යෝජනාවෙන් පළාත් සභා මැතිවරණයේදී එම ක්‍රමය අහෝසි වී එක් කොට්ඨාශයකට එක් පක්ෂයකින් තිදෙනෙකුගේ නම් ඉදිරිපත් කිරීමට යෝජනා කොට තිබේ.

එම යෝජනාවෙන් පොදුජන පෙරමුණ තුළ සිටින කුඩා සන්ධානගත පක්ෂවලට බලවත් අසාධාරණයක් වන හෙයින් එවැනි පක්ෂවලට නායකත්වය දෙන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් මෙන්ම පොදුජන පෙරමුණ නියෝජනය කරන බන්දුල ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ද කැබිනට් මණ්ඩලය තුළ සිය විරෝධය දක්වා තිබේ.

කොට්ඨාශ ක්‍රමයේ බලාපොරොත්තු වන්නේ එකම පක්ෂය තුළ අපේක්ෂකයන් කුලල් කා ගන්නා මනාප ක්‍රමය නැති කිරීමට වුවත් යෝජිත නව පළාත් සභා කෙටුම්පතින් යළිත් එවැනි තත්ත්වයක් ඇති කිරීමට පියවර ගෙන තිබෙන අතර එම යෝජනාවට අනුව අදාළ කොට්ඨාශයට නම් කරන අපේක්ෂකයන් තිදෙනාගෙන් එක් අයෙක් තෝරා ගැනීමේ අවස්ථාව ඡන්දදායකයාට හිමිවේ.

එනම් එය පිටු දැකීමට යෝජිත පැරැණි සමානුපාතික ක්‍රමයට සමාන වීමකි. 

මෙම යෝජිත නව ක්‍රමවේදයට අනුව විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂවල අපේක්ෂකයින්ට කිසිදු කොට්ඨාසයක් සඳහා තේරී පත්වීමේ අවස්ථාව පොදුජන පෙරමුණට බලය තිබෙන සෑම කොට්ඨාශයකම අහිමිව යනු ඇත.

Rate this item
(0 votes)