April 16, 2024

අරුන්දිකගෙනුත් ප්‍රතිප්‍රහාර - ඔය සහකාර පොලිස් අධිකාරී හොඳ මිනිහෙක් නෙවෙයි : ඔහුටත් නඩු තිබෙනවා

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයාව සිටී එරික් පෙරේරා මහතාව එම ප්‍රදේශයෙන් මාරුකර යැවීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ද පිළිතුරු දී තිබේ.

මාරු කර යැවූ සහකාර පොලිස් අධිකාරිවරයා හොඳ මනුෂ්‍යයෙකු නොවන බවත් ඔහුට එරෙහිව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මෙන්ම මානව හිමිකම් කොමිසමේද නඩු තිබෙන බවත් තුවක්කු දාලා මිනිස්සු අල්ලලා තියෙන බව අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

කසිප්පු ව්‍යාපාරය කුඩා පරිමාණයෙන් කළ අයට සහකාර පොලිස් අධිකාරිවරයා හිරිහැර කර තිබෙන බවට චෝදනා කරන රාජ්‍ය අමාත්‍යවරයා සහකාර පොලිස් අධිකාරිවරයා කසිප්පු ව්‍යාපාරය නතර කරන්න දරන වැඩපිළිවෙළ මත ජනතාව පීඩාවට පත්වී තිබෙන බවද පෙන්වා දෙයි.

තමා මේ සම්බන්ධයෙන් පොලිසිය බාර අමාත්‍යවරයාට ලිපියක් යැවූ බව සත්‍යය මුත් ඔහු වෙන්නප්පුව ප්‍රදේශයෙන් මාරු කරන ලෙස තමා ඉල්ලා නොසිටි බවත් තමා ඉල්ලා සිටියේ ඔහුට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

අදාළ විමර්ශනවලින් පසු ඔහුට එල්ලවන චෝදනාවලින් ඔහු නිදොස් නම් ඔහුව යළිත් වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස පත් කරන ලෙසද තමා ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 04 April 2021 19:29