April 23, 2024

’’වඩා වැදගත් ගෝඨාභය නොව බලයට ගෙනා මතවාදය හා බලවේගයි ’’ - ජනපති

“මා හැමවිටම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි වැදගත්. මා මෙතැනට ගෙන ආ මතවාදය හා බලවේගයයි වැදගත්. අප ආරක්ෂා කළ යුත්තේ එයයි. සතුරු බලවේග ගෙන යන අසත්‍ය ප්‍රචාරයේ අරමුණ මේ මතවාදය පරාජය කිරීම. මා කරමින් සිටින්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

තමා බලයට එන විට බිඳවැටී තිබූ ආර්ථිකය කොවිඩ් වසංගත අර්බුදය මධ්‍යයේ වුවද, දේශීය හරිත ආර්ථිකයක් ලෙස ගොඩනගමින් තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කරයි. සිය ධූර කාලය ඇතුළත ජනතා ප්‍රශ්න විසඳීමට නොහැකි වුවහොත් තමාට දෝෂාරෝපණය කරන්නැයි හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (03) පෙරවරුවේ උතුරු පළාතේ, වවුනියාව දිස්ත්‍රික්කයේ, වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ, බෝගස්වැව මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහන ආරම්භයේදී රැස්ව සිටි පිරිස අමතමිනි.

වර්තමානයේ කතා බහට ලක්ව ඇති මාතෘකා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා පරිභෝජනය සඳහා ආනයනය කෙරෙන සියලුම ද්‍රව්‍යවල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන බව පැවසීය.

ආනයනික පොල්තෙල් තොගයක් පරිභෝජනයට නුසුදුසු බව පසුගියදා හඳුනාගැනීමට හැකි වූයේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසිනි. පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් පාරිභෝගික ද්‍රව්‍ය ප්‍රමිතිය සහතික කිරීම  අදාළ ආයතනවල වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තමා බලයට පැමිණ ගත වූ කෙටි කාලය තුළ ඉටුකළ කාර්යභාරය පැහැදිළි කළ ජනාධිපතිවරයා පරිසරයට බලවත් හානියක් කරමින් තිබූ කටුපොල් වගාව සම්පූර්ණයෙන් තහනම් කළ බව කීය.

සංවිධානාත්මක දේශීය, විදේශීය බලවේග රජයට සහ තමාට එරෙහිව ගෙන යන අසත්‍ය ප්‍රචාරය පරාජය කොට තමා ජනාධිපති ධූරයට ගෙන ආ මතවාදය ආරක්ෂා කරගත යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 April 2021 07:42