March 29, 2024

පස්සර අනතුර : බස් රථ රියදුරු වරෙන්තුකරුවෙක් - පොලිස් පරික්ෂණයෙන් හෙළි වූ දේ මෙන්න Featured

පස්සර 13 කණුව ප්‍රදේශයේ දී ජිවිත 14ක් අහිමි කළ බස් රථ රියදුරු මීට පෙර කරන ලද වැරදි සම්බන්ධයෙන් ද අනාවරණය කරගැනීමට අනතුරු පිළිබඳව පරික්ෂණය මෙහෙය වන පොලිස් කණ්ඩායම සමත්ව තිබේ.

ඒ අනුව මීට පෙර අනතුරට පත් මාර්ගස්ථ අංක 99 දරන ලුණුගල - කොළඹ බස් රථයේ 52 හැවිරිදි රියදුරු අපරික්ෂාකාරී රිය ධාවනය යන වරද යටතේ වරෙන්තුවක් පවා නිකුත් කර ඇති පුද්ගලයෙකු බවට මේ වන විට හෙළි වී තිබේ.

අදාළ සැකකාර රියදුරා විසින් පසුගිය වසරේ නොවැම්බර් මස 28 වැනිදා කරන ලද අපරික්ෂාකාරී රිය ධාවන වරදක් සම්බන්ධව මිරිහාන පොලීසිය විසින් වරදකරුවෙකු කරන ලද පුද්ගලයෙකු බවත් දැන් අනාවරණය වී තිබේ.

රියදුරුගේ රියදුරු බලපත්‍රය පොලීසිය විසින් එදින ලබාගෙන තිබූ අතර ඒ වෙනුවට ඔහුට දඩ පත්‍රිකාවක් නිකුත් කර තිබුණි. ඒ අනුව අදාළ බස් රථ රියදුරුව පසුගිය ජනවාරි මාසයේ 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණත් ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටිම නිසා ඔහුට විරුද්ධව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

එමෙන්ම එම වරෙන්තුව හරහා සැකකාර රියදුරු අත්අඩංගුවට ගැනීමට මිරිහාන පොලීසිය විසින් සැකකරු විසින් ලබාදුන් විස්තරවලට අදාළ ලිපිනයට ගොස් තිබුනත් එම ලිපිනයේ එවන් පුද්ගලයෙකු රැඳී නොසිටි බවටද අනාවරණය වී තිබේ.

පසුගිය මාර්තු 21 වැනිදා මෙම අනතුර සිදුව ඇත්තේ එවන් පසුබිමකයි. මේ සම්බන්ධව මේ වන විටත් පොලිස් රථවාහන මූලස්ථානය මඟින් ද පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එමෙන්ම අදාළ සැකාකරු රියදුරු විසින් පස්සර අනතුර සිදුවු අවස්ථාවේ පස්සර පොලීසියට ඉදිරිපත් කර තිබුණේ මාස 04කට ආසන්න කාලයක් තමන් සන්තකයේ තබාගෙන සිටි මිරිහාන පොලීසිය විසින් නිකුත් කරන ලද දඩ පත්‍රිකාව බවද වාර්තා වෙයි.

පොලීසිය විසින් ප්‍රකාශ කරන්නේ අදාළ රියදුරු මෙම අනතුර සිදු කරන අවස්ථාවේ වරෙන්තුකරුවෙකුව සිටි බවත්, ව්‍යාජ තොරුතුරු ලබා දීම මත ඔහුව අත්අඩංගුවට ගැනීමට තිබූ අවස්ථාව මඟ හැරී ගිය බවයි. 

Rate this item
(0 votes)