April 20, 2024

විෂ පොල්තෙල් රැගෙන ගිය බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි

ආහාරයට නුසුදුසු ප්‍රභල පිළිකා කාරක අඩංගු බවට සැකකරන ආනයනික පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දංකොටුව නගරය ආසන්නයේ ඉඩමක සඟවා තිබියදී සිය බාරයට ගත් බව දංකොටුව පොලීසිය පවසයි.

මෙම බවුසර් දෙක තුළ පොල්තෙල් ලීටර් පනස් පන්දහසක් (55000) අඩංගුව ඇති බවත් ඒවා ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොල් තෙල් ලීටර් 27,500ක් එලෙස ඊයේ (29) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් පොල්තෙල් බවුසර් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට නියමිතය.

තෙල් බවුසර් දෙකෙහි රියදුරන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් මුදා හැර තිබේ.

රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් පසුගිය 25 වැනිදා එම පොල් තෙල් තොගය රැගෙන ආ බව සැකකරුවන් පවසා ඇත.

Rate this item
(0 votes)

Related items