April 20, 2024

ගව ඝාතනය තහනම් කිරීම සඳහා වූ නීතිය ළඟදීම - වයසක ගවයන්ට කරන්න යන දේ ගැනත් කියයි

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් ලෙස ඉදිරිපත්ව පසුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ගව ඝාතනය වැළැක්වීම සඳහා තහනම කඩිනමින් ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති බවට ජාතික පුවතපතක් වාර්තා කර තිබේ.

මේ වන විට බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් අවසන් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ. 

එහිදී ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ගව ඝාතනය නැවැත්වීම සම්බන්ධයෙන් වූ පනත කෙටුම්පත් කිරීම සඳහා මේ වන විට නීතිපතිවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. ඉදිරි මාස කිහිපය තුළ බොහෝ දුරට එය ක්‍රියාත්මක වනු ඇතැයිද ලේකම්වරයා එහිදී සඳහන් කළේය.

මෙහිදී මෙරට ගව ඝාතනය තහනම් වූවද, මෙම නව තහනම මඟින් ගව මස් ආනයනයට බලපෑමක් සිදු නොවනු ඇති බවද වාර්තා වෙයි.

වයස්ගත ගවයන්ගේ ගැටලුව විසඳන්නේ කෙසේදැයි මෙහිදී එම පුවත්පත විමසා තිබුණු අතර එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා පවසා තිබුණේ වයස්ගත ගවයින් පිටරටට අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි. මෙම තීරණයෙන් මූල්‍යමය වශයෙන් පීඩාවට පත්වන අය ආරක්ෂා කිරීමට හෝ ඔවුන්ට සහාය වීමට ක්ෂණික යාන්ත්‍රණයක් නොමැති බව මහාචාර්ය ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබුණි.





Rate this item
(0 votes)