April 24, 2024

හිටපු ජනපති නව ගමන හෙට දළදා මාළිගාවෙන් අරඹයි

පළාත් සභා මැතිවරණය පිළිබඳව කැබිනට් තීන්දුව මෙම සතියේදී ලැබෙනතුරු ඒ ගැන කතා නොකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

හිටපු ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී එළඹෙන පළාත් සභාවට සූදානම් වීමේ ආරම්භක පියවරක් ලෙස හෙට (30) මහනුවරදීත් අනිද්දා (31) මාතලේදීත් පැවැත්වීමට නියමිත වැඩසටහන් පිළිබඳවද එහිදී හිටපු ජනපතිවරයා මධ්‍යම කාරක සභිකයින් දැනුවත් කොට ඇති බව දැනගන්නට තිබේ.

හෙට (30) හිටපු ජනපති ප්‍රමුඛ ශ්‍රීලනිප ප්‍රධානීන් මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් පසු එම වැඩසටහන ආරම්භ කිරීමටත් ඉන් පසුව මල්වතු - අස්ගිරි මහා නාහිමියන් බැහැ දැකීමටත් ශ්‍රීලනිපය තීරණය කොට ඇති අතර ඒ අවස්ථාවට සියලුම මධ්‍යම කාරක සභිකයින් සහභාගී යුතු බවට පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාද උපදෙස් දී තිබෙන බවද වාර්තා වේ.

ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පැවැති පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් වූ විවාදයේදී කළ මතභේදාත්මක කතාව මේ වන විට ලාංකීය දේශපාලනයේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබේ.

හිටපු ජනපතිවරයා එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රීලනිපය සූදානම් කරන්නේ මෙම මතභේදාත්මක කතාවේ උණුසුම යාමටත් මත්තෙන් වීම විශේෂත්වයකි.

මේ වනවිටත් එළැඹෙන පළාත් සභා මැතිවරණයට පොදුජන පෙරමුණ ලැයිස්තුවෙන් ඉවත් වී තනිව තරග කිරීම පිළිබඳව ශ්‍රීලනිපය අවධානය යොමු වී ඇති බවද ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මෙම සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 30 March 2021 06:59