April 25, 2024

පස්සර අනතුර වෙන්න කලින් පාරට වැටුණු කළුගල ඉවත් කරන්න හදලා - නැවතුනේ කාගේ වරදින්ද?

පස්සර බස්රථ අනතුර සිදු වූ ස්ථානයේ මාර්ගයට වැටී තිබෙන කළුගල් පර්වතය සතියක් ඇතුළත ඉවත් කරන ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබේ.

අනතුර සිදු වූ ස්ථානයේ මාර්ගයට ඉකුත් නොවැම්බර් 22 වැනිදා එම කළුගල් කොටස වැටී තිබි ඇත.

සංවර්ධන කමිටු රැස්වීම්වලදී සහ වෙනත් උත්සව අවස්ථා කීපයකදී මාර්ග සංවර්ධන අධිකාරියට සහ කළුගල ඉවත් කිරීමට කටයුතු කරන පෞද්ගලික සමාගමට දැනුම් දී තිබූ බවද වාර්තා වේ.

බස්රථ අනතුර පසුගියදා සිදුව ඇති බවත් ඊට පෙර දින පසුගිය 19 වනදා අදාළ සමාගම එම ගල කඩා ඉවත් කිරීමට උත්සාහ කර ඇති බවටද වාර්තා වේ.

බදුල්ල - කොළඹ මාර්ගයේ පස්සර ඇතුළු ස්ථාන කිහිපයක මෙවැනි අනතුරුදායක ස්ථාන කිහිපයක් පවතින අතර එම ස්ථාන හඳුනා ගෙන මාර්ග බාධක යොදා වේගය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආණ්ඩුකාරවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ අතර පස්සර සිදුවූ මාරක බස් අනතුර මාර්ග සංවර්ධන අධිකාරියේ වරදක් හේතුවී ඇත්දැයි සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර් ප්‍රේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු දෙදෙනෙකුද ඇතුලත්ව ඇති අතර එම කමිටු නියෝජිතයින් පසුගිය 21 වැනිදා අනතුර සිදුවූ ස්ථානයට ගොස් අදාල තොරතුරු සොයා බැලූ බව වාර්තා වේ.

මාර්ගයේ අනතුර සිදුවූ ස්ථානයට පසුගිය වසරේ නොවැම්බර් 22 වැනිදා පෙරළි ඇති ගල් පර්වතය මෙතෙක් කාලයක් ඉවත් නොකිරීමට හේතුවූ කාරණා පිළිබඳව මෙහිදී සොයා බැලීමට එම කමිටුව තීරණය කර තිබේ.

Rate this item
(0 votes)