April 24, 2024

විමල් හිටපු ජනපති මග යයි - පළාත් සභාවට තනිව තරග කිරීමට සූදානම් වේ

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී තනිව තරග කිරීමට සුදානම් වන බවට තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ දේශපාලන මණ්ඩලය තුළ සාකච්ඡාවන් පැවැත්වී ඇති අතර බහුතරයකගේ මතය වී තිබෙන්නේ එළඹෙන පළාත් සභා ඡන්දයට තනිව තරග කළ යුතු බවය.

මෙම තීන්දුව ගැනීමේදී පසුගිය මහ මහමැතිවරණයේදී පොදුජන පෙරමුණේ සන්ධානගත පාර්ශ්වයක් ලෙස එම පෙරමුණ තුළින් තරග කිරීමේ දී මුහුණ දීමට සිදුවූ වාසි - අවාසි තත්ත්වයන්ද සාකච්ඡාවට බඳුන් වී තිබේ.

විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය මුල සිටම නියෝජනය කළ ජාතික නිදහස් පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ නිරෝෂන් ප්‍රේමරත්න හා මොනරාගල දිස්ත්‍රික්කයේ පද්ම උදය ශාන්ත යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ඉකුත් මහ මැතිවරණයේදී පරාජය වූන ආකාරය ගැනද මෙහිදී අවධානය යොමු කර තිබේ. මොවුන් දෙදෙනාව පරාජය කිරීම සඳහා අදාල දිස්ත්‍රික්ක දෙකේ පොදුජන පෙරමුණ අපේක්ෂකයින් සංවිධානගතව කටයුතු කළ ආකාරය පිළිබඳ මැනීමක්ද ජාතික නිදහස් පෙරමුණ කොට තිබේ.

මේ වන විට පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනකු ජාතික නිදහස් පෙරමුණ සතුව සිටින අතර ඔවුන්ගේ මූලිකත්වයෙන් පළාත් සභා මැතිවරණයට තනිව තරග කිරිම වඩාත් නිවැරදි තීන්දුව බව ජාතික නිදහස් පෙරමුණ බහුතරයකගේ මතය වී තිබේ.

මේ වන විට විශේෂයෙන්ම පොදු ජන පෙරමුණේ සෘජු සාමාජිකත්වය හිමි පසුපෙළ මන්ත්‍රීවරුන් සහ විමල් වීරවංශ අමාත්‍යවරයා අතර දැඩි මතභේදාත්මක අරගලයක් පවතින අතර පොදු ජන පෙරමුණේ මහ ලේකම්වරයා වන නීතිඥ සාගර කාරියවසම් මහතාද  විමල් වීරවංශ  අමාත්‍යවරයාව ප්‍රසිද්ධියේම විවේචනය කරන ලදී.

මෙම තත්ත්වය තුළ එළැඹෙන පළාත් සභා මැතිවරණය හෝ ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පොදුජන පෙරමුණ තුළින් එහි සන්ධාන ගත පාර්ශ්වයක් ලෙස තරග කිරීමට යාමෙන් සිය පක්ෂයට අනවශ්‍ය ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බවද ජාතික නිදහස් පෙරමුණේ අදහස වී තිබේ.

විශේෂයෙන්ම විමල් වීරවංශ අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනය කළ පොදුජන පෙරමුණේ මහලේකම්වරයාගේ අත්සනින් යුතු නාමයෝජනා ලැයිස්තු යටතේ තරග කිරීම ජාතික නිදහස් පෙරමුණේ ප්‍රතිරූපයට හානිදායක බව ද එම පක්ෂයේ අවධානයට මතය වී තිබේ.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද තමන් සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී තනිව තරඟ කිරීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කරමින් සිටින අතර එහි එක් පියවරක් ලෙස නාම යෝජනා අයදුම්පත් කැඳවීම ආරම්භ කොට තිබේ.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 23 March 2021 10:27