March 28, 2024

පස්සර බස් රථ අනතුරට හේතුව විශේෂ විමර්ශනයෙන් පසුව හෙළි වෙයි

ලුණුගල සිට කොළඹ බලා පිටත්ව ගිය මගී ප්‍රවාහන බස් රථයක් අද (20) දිනයේ දී පස්සර 18 කණුව ප්‍රදේශයේ දී අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළිමෙන් සිදු වූ මාරාන්තික අනතුර පිළිබඳ පොලිස් පරික්ෂණ ආරම්භ වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ මෙම අනතුර සිදුව ඇත්තේ ද්විත්ව වංගුවක් ආශ්‍රිතව බවයි.

එමෙන්ම එම ද්වීත්ව වංගුව සහිත ප්‍රදේශය පොලීසිය විමර්ශනයේ දී පරික්ෂා කර බලා ඇති අතර එහිදී හෙළිව තිබුණේ එම ස්ථානයේ ඇති භෞතික සහ පරිවේෂණීය සාක්ෂි පරික්ෂා කිරීමේදී සොයාගෙන ඇත්තේ රියදුරාට බස් රථය පාලනය කර ගැනීමට හැකියාවක් තිබි නැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම බස් රථය සම්බන්ධව තාක්ෂණික පරික්ෂාවක් මෝටර් වාහන පරික්ෂකවරුන් විසින් පැවැත්වීමට නියමිතව ඇති බවත් අජිත් රෝහණ මහතා එහිදී සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ බස් රථය දැනට සම්පුර්ණයෙන්ම අලාභ හානි වී ඇති බැවින් එම පරික්ෂණය සඳහා දින කිහිපයක් ගත වනු ඇති බවයි.

වසර 1 1/2ක් තුළ වාර්තා වූ වැඩිම පුද්ගලයින් ගණනක් මිය ගිය සහ වැඩිම පුද්ගලයින් ගණනක් තුවාල ලැබූ රිය අනතුර මෙය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 March 2021 21:41