March 29, 2024

“පරිසර සිතුවම ගැලෙව්වේ ඉහළින් ආ නියෝගයට නෙමෙයි පරිසර පොලීසියේ අවසර ගත්ත නැති නිසා”

තරුණ තරුණියන් පිරිසක් විසින් කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රය ඉදිරිපිට ලෝක දේශගුණික විපර්යාසවලට එරෙහිව පියවර ගැනීමේ දිනය වෙනුවෙන් නිර්මාණය කරන ලද දැවැන්ත සිතුවම ගලවා ඉවත් කළේ ජනාධිපති කාර්යාලයේ හෝ ජනාධිපතිවරයාගේ නියමකින් නොවන බව කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ මහතා ඒෂියන් මිරර් වෙත පවසා සිටියේය.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම සිතුවම සවි කර තිබූ ඉදි කිරීම අවසරයක් ලබා ගැනීමකින් තොරව අනවසරව ඉදි කර ඇති නිසා පරිසර පොලීසියෙන් එය ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

නමුත් එම සිතුවම ඉදි කර තිබූ ස්ථානයේ අද (19) හවස පැවැත් වූ නිහඬ උද්ඝෝෂණය සඳහා එම සිතුවම නිර්මාණය කළ පිරිස හට පොලීසිය විසින් අවසර ලබා දී තිබූ අතර එය බාධාවකින් තොරව පැවැත්වූ බවද මිලින්ද රාජපක්ෂ මහතා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂීනි දිසානායක මහත්මිය පවසා සිටියේ අනාරක්ෂිත ලෙස ඉදිකරන ලද අට්ටාලයක මෙම චිත්‍රය රඳවා ඇති බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් එය ඉවත් කිරීමට පියවරගත් බවයි. එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ නියමිත ආරක්ෂක උපදෙස් අනුව ඉදි කරලා නොමැති බවයි. ලයිට් වලට ඉතාම ළඟින් මේක සකස් කරලා තිබුණු බවද ඇය කියා සිටියාය. 

මහජනතාවගෙන් තමන් වෙත පැමිණිලි ආ බවත් ඇය එහිදී සඳහන් කර සිටියාය. එමෙන්ම එම අට්ටාලය උද්‍යානයේ ඇති ගස්වලට බැඳ තැබීම නිසා ගස්වලට හානි වී ඇති බවද ඇය ප්‍රකාශ කළාය.

Rate this item
(0 votes)