April 25, 2024

රජයේ ඉඩම් ජාවාරම්වල තොරතුරු මාධ්‍යට හා රජයේ නිලධාරීන්ට ලබා දුන්නැයි ගොවියකුට මැර ප්‍රහාරයක්

දඹුල්ල වෑවල වැව, සීගිරිය අලකොලවැව,  ප්‍රදේශ වල රජයේ ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරම් පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබා දුන්නැයි චෝදනා කරමින් පසුගිය 13 වනදා ගොවියෙකුට බරපතල ලෙස පහර දී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ දඹුල්ල වෑවල වැව අලකොලවැව ප්‍රදේශයේ පදිංචි ඒ.ජි.දිසානායක නොහොත්  ප්‍රදේශයේ බොහෝ දෙනා හඳුනන බණ්ඩා මාමා නැමැති අයෙකු මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගියදා රජයේ ඉඩම් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අත්පත් කරගෙන ඒවා පිටස්තර පුද්ගලයන්ට අලෙවි කිරීමේ ක්‍රියාවලිය සිදු වෙන බව ජනමාධ්‍ය මඟින් දිගින් දිගටම හෙළිදරව් කරන්නට විය.

එම අවස්ථාවන්හිදී මාධ්‍යවේදීන්ට වන සංරක්ෂණ නිලධාරීන්ට පොලීසියට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලබා දීම සිදු කළ බවට චෝදනා කරමින් තමන්ට ප්‍රදේශයේ මහින්ද නැමැති ප්‍රදේශයේ රජයේ ඉඩම් අල්ලාගෙන සිටින පුද්ගලයෙකු පහරදී පිහියකින් අනින්න ගිය බව පහර කෑමට ලක් වූ පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

තොරතුරු ලබාදුන් කාංචනට කියා ඕනෑම දෙයක් කරපන් යයි  තර්ජනය කරමින් තමා ඝාතනය කරන බවට ඔහු තර්ජනය කළේ යැයි ද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දිසානායක මහතා අප සමඟ පැවසීය.

තමන් වනජීවී නිලධාරීන්ට සහ මාධ්‍යයට සම්පූර්ණ සත්‍ය කතාවක් හෙළිදරව් කළ බවත් මේ වන විටත් රජයේ ඉඩම් අත්පත් කරගෙන විවිධ කණ්ඩායම් සිටින බව ඒ මහතා රෝහලේ සිටම ද ප්‍රකාශ කළේය .

15 දින පස්වරුවේ අප වෑවල වැව ප්‍රදේශයට මේ සිද්ධිය සොයා බැලීමට ගියෙමු. එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ දිසානායක මහතාගේ දියණිය වන රේණුකා නිරෝශනි කියා සිටියේ තමන් පියා වගා බිමේ සිට නිවසට එන අතරතුරදී මෙම කණ්ඩායම පියාට පහර දී තිබෙන බවය. නිලධාරීන්ට තොරතුරු ලබා දුන් බවට චෝදනා කරමින් මෙම පහරදීම දිගින් දිගට සිදුකරන බවද ඇය සඳහන් කළාය. දීසානායක මහතාගේ බිරිඳ බි .එම් .කරුණාවති මහත්මිය කියා සිටියේ මෙම මැර ප්‍රහාර සම්බන්ධයෙන් වහාම සොයා බලා සාධාරණයක් ඉටු කර දෙන ලෙසය.

මෙම මැර ප්‍රහාරය එල්ල කළ මහින්ද නැමැති පුද්ගලයා සොයා පොලීසිය  ප්‍රදේශයට පැමිණ සිටිති.පසුව මෙහි සත්‍ය තොරතුරු සොයා පහර දුන් බව කියන පුද්ගලයා ගේ නිවෙසට අප යන අවස්ථාවේදී පොලිස් කණ්ඩායමක් එම නිවසේ සිටිනු දැක ගැනීමට හැකි විය.උසස් පොලිස් නිලධාරියකු කියා සිටියේ මෙම පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා නිවසට පැමිණි අවස්ථාවේ එම පුද්ගලයා මේ වන විට මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබන බව නිවැසියන් සඳහන් කළේ යැයි පැවසීය.

මෙම පහර දීමේ සිද්ධිය ඔහුගේ ඥාතීන් ප්‍රතික්ෂේප කළද අප මේ පිළිබඳව පහරදුන් පුද්ගලයා ගේ බිරිඳ වන ආර් .බි . සංජීවනී මහත්මියගෙන් ද විමසීමක් කළෙමු. ඇය කියා සිටියේ මෙම පහර කෑමට ලක්ව ඇති පුද්ගලයා සහ තම සැමියා අතර අතර මඟ දී බහින්බස් වීමක් දුරදිග ගොස් ගැටුමක් දක්වා එය වර්ධනය වී ඇති බවය.  මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමේ සිද්ධිය කරුණු විමසීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම ඇති වී තිබෙන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය,

අප මෙම පුවත වාර්තා කිරීමට වෑවල වැව ප්‍රදේශයට ගොස් නැවත එමින් සිටියදී දඹුල්ල මුලස්ථාන පොලිසිය හරහා ක්‍රියාත්මක සාම කමිටු සංවිධානයේ සභාපති ටි. කේ . විජේසිංහ මහතා අතරමඟදී හමු වී කියා සිටියේ පසුගිය දිනවල තමන්ද මෙම ප්‍රදේශයේ මත්කුඩු කසිප්පු සහ ගංජා ජාවාරම් පිළිබඳව පොලිසියට ජනමාධ්‍යවේදීන්ට තොරතුරු ලබා දුන් බවය. එය ජනමාධ්‍යේ පළවීමත්  සමග  අවසානයේ දී තමාට තිදෙනකුගෙන් යුත් මැර කණ්ඩායමක් නිවසටම පැමිණ දැඩි ලෙස පහරදී ඝාතනය කිරීමට උත්සාහ කළ බවය .

මේ වන විටත්  සාම කමිටු සාමාජික හිසේ  අතේ සිරුරේ තුවාල සහිතව සිටින අයුරුද අප වෙත පෙන්විය. සිගිරිය හා දඹුල්ල පොලිස් බල ප්‍රදේශ වලට යාබදව පිහිටි මේ ප්‍රදේශවල  ක්‍රියාත්මක වන මැර පහරදීම්  දිගින් දිගටම ඉහළ යෑම නිසා ප්‍රදේශයේ ජනතාවද දැඩි භීතියට පත් වෙමින් ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් . පී .එදිරිසිංහ මහතාගෙන් විමසීමේදී කියා සිටියේ පහරදීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් වෑවල වැව ප්‍රදේශයට පිටත් කර හැරි බව ය .එහෙත් එම පුද්ගලයා මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු ලැබී ඇතැයි ද මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

  (දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)