April 25, 2024

“මට හොඳට සැලකුවා.. මං කිව්වා කන්න ඕන නෑ කියලා“ - ප්‍රකාශයක් දෙන්න ගිය අශෝක් අබේසිංහ CIDය ඇතුළේ වුණ දේ කියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති නිසා දීර්ඝව පැහැදිලි කිරීමක් සිදුකළ නොහැකි බවත් ඉදිරියේදී මාධ්‍යයට යම්කිසි දෙයක් ප්‍රකාශ කිරිමට බලාපොරොත්තු වන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අශෝක් අබේසිංහ මහතා ඊයේ (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

තමාට පසුගිය 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබූ බවත් නමුත් තමන්ට පුද්ගලික කරුණක් සහ 09 සහ 10 පාර්ලිමේන්තු සැසිවාරය නිසා පැමිණීමට නොහැකි බව දන්වා සිටි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඔබතුමන්ලාගේ විපක්ෂය චෝදනා කරන්නේ මන්ත්‍රීවරු දඩුවම් කිරීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා කියා යැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.

“එහෙම කියන්න බෑ. මාව ඉතින් දඩයමක් වුණේ නෑනේ. මං ප්‍රකාශය කරලා යනවනේ. මට හොඳට සැලකුවා. තේ දුන්නා කන්නත් දෙන්න ඇහුවා. මං කිව්වා කන්න ඕන නෑ කියලා. හොඳට සැලකුවා ප්‍රශ්නයක් වුණේ නෑ.“ යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

එම ප්‍රකාශය කරන අවස්ථාවේ මන්ත්‍රීවරයා ඔහුගේ නීතිඥවරයා ලෙස බලමින් කතා කළේය.

පාස්කු ප්‍රහාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරනු ලැබීය. 

පසුව අදාළ ප්‍රකාශයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේය.

ඊට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා දෙකකදි අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයාට දන්වා තිබුණ ද එම අවස්ථා දෙකේදීම මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නැත.

නමුත් එම ප්‍රකාශය පිළිබදව කරුණු පැහැදිලි කිරීමට අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා ඊයේ පෙරවරු 9.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඒ මහතා සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂය නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පැමිණ සිටිනු ලක්නට ලැබිණි.

පැය 05 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අබේසිංහ මහතා ප්‍රකාශයක් දී තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 March 2021 03:06