April 24, 2024

ගෑස් මිල තීන්දුවට පාරිභෝගික අධිකාරිය කල් මරයි - ගෑස් සමාගම් අර්බුදයේ

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් සිය සමාගම් මුල්‍යමය අර්බුදයකට ලක්ව ඇති බව ගෑස් සමාගම් ප්‍රකාශ කරයි.

එබැවින් ඉදිරියේදී ගෑස් මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කරඇති බව එම සමාගම් සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් අප පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසූවේ ඒ පිළිබඳ තීරණය ඉදිරි දිනකදී දැනුම්දීමට නියමිත බවය.  

අද වනවිට මෙරට වෙළෙඳපොළේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,493 ක් වැනි මිලකට අලෙවි කෙරේ.

2019 වසරේදී රජය රුපියල් 1,733 ක්ව පැවති ගෑස් මිල රුපියල් 1,493ක් දක්වා රුපියල් 240 කින් මිල පහළ දැමුණු අවස්ථාවේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල පැවතියේ මෙට්‍රික්ටොන් එකක් අමෙරිකානු ඩොලර් 360 ක් ලෙසය.

එහෙත් මේ වනවිට ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 604 දක්වා සියයට හැට හතකින් ඉහළගොස් තිබේ.

මෙම වාතාවරණය හමුවේ ගෑස් සමාගම් පෙන්වා දෙන්නේ පවතින මිලට තවදුරටත් ගෑස් අලෙවි කළ නොහැකි වන බවය.

"ආයතනය පහුගිය මාස 3 තුළ රුපියල් බිලියනයක් පමණ පාඩුයි. ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493 දක්වා තිබුණට දැන් රුපියල් 2148 ට තියෙන්න ඕනේ. රුපියල් 700 ක පාඩුවක් තියෙනවා." යැයි ලාෆ් ගෑස් සමාගමේ සභාපති කේ. වෑගපිටිය මහතා පැවසීය.

"ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩිවීම අපගේ ව්‍යාපරවලට දැඩි බලපෑමක් ඇති කරලා තියෙනවා. ඒ නිසා අපි මේකට පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටිනවා," යනුවෙන් ලිට්රෝ සමාගමේ අලෙවි සහ වෙළෙඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා පැවසීය.

Rate this item
(0 votes)