April 14, 2021

(EXCLUSIVE) “ඔය හදන්නේ SI ව හිර කරන්නයි” - තරුණියගේ මිය යෑම පිටුපස නොඇසුණු කතාවක්

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 24 වැනිදා සියදිවි නසා ගැනීමක් නිසා මිය ගිය 26 හැවිරිදි ආර්.එල්. චන්ද්‍රා ප්‍රභා නම් තරුණියගේ මරණ සිදුවීම නැවත වරක් කරළියට පැමිණ තිබේ.

මිය ගිය තරුණියගේ මව මෙම සිදුවීම සම්බන්ධව පොලිස් පරික්ෂණ නිසියාකාරව සිදු නොවුණු බවත් සිය දියණියගේ මරණයට ඇය විවාහ සිටි පොලිස් නිලධාරියා වගකිව යුතු බවත් ඇය මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධව ඒෂියන් මිරර් විසින් විශේෂ සොයා බැලීමක් සිදු කළ අතර මේ සම්බන්ධව අප සීදුව පොලිස් ස්ථානයෙන් ද විමසීමක් කළෙමු. 

මෙම සිදුවීම ගැන ඇසිය යුතු හොඳම පුද්ගලයා මෙම චෝදනාව එල්ල කරන මවගේ දික්කසාද සැමියා බව එහිදී අපට සීදුව පොලිසියේ උසස් නිලධාරියෙකු පවසා සිටියේය. 

පොලීසිය වෙත චෝදනාව එල්ල කරන මෙම කාන්තාව 2006 දී මිය ගිය තරුණිය ඇතුළු තවත් දරුවන් දෙදෙනෙකු අත්හැර දමා ගිය බවද එම නිලධාරියා අප සමඟ කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම දරුවන් තිදෙනාව පසුව හදාගනු ලැබුවේ පොලිස් නිලධාරියෙකු බවත් උස් මහත් වූ පසුව මිය ගිය තරුණියව උප පොලිස් පරික්ෂකවරයෙකුට විවාහ කරදුන් බවයි.

ඇය තම දියණියට ලිංගික හිංසනයක් සිදු වු බවට චෝදනා කරන බවත් දැන් ලිංගික හිංසනයක් සිදු බව කීමෙන් ඇති ඵලය කුමක් දැයිද එම නිලධාරියා විමසා සිටියේය. 

එමෙන්ම එම කාන්තාව ලිංගික හිංසනයක් සිදු වූ බවට චෝදනා කරන්නේ කෙලෙසදැයිද විමසා සිටි ඔහු අප සමඟ කියා සිටියේ ලිංගික හිංසනයක් සිදු වූවා නම් එය එම තරුණිය විසින්ම පැවසිය යුතුව තිබූ බවයි. 

තරුණියගෙන් එවන් පැමිණිල්ලක් නොතිබුණු බවත් ඔහු කියා සිටි අතර එම කාන්තාවට දැන් දරු දුක දැනී ඇති බවත් දැන් වසර 15කට පමණ විතර පැමිණ මෙලෙස චෝදනා කරන බවයි. 

එම කාන්තාව උත්සාහ කරන්නේ එස්.අයී බෑනාවයි, කසාද බැඳලා දික්කසාද වූ සැමියායි තමන්ගේ ළමයිව හරියට බලාගත්තේ නැහැ කියන එක මතු කර පෙන්වීමට බවත්, මිය ගිය තරුණිය විවාහ ව සිටි උප පොලිස් පරික්ෂකවරයාගේ රැකියාවත් අහිමි කර හිරේ දැමීම බවත් ද එම නිලධාරියා අප සමඟ පවසා සිටියේය.

මෙම සිදුවීමට කළ හැකි දෙයක් නොමැති බවත් පැවසූ ඔහු අප සමඟ කියා සිටියේ හොයාගන්න බැහැ කියලා හිතපු මරණයක් පොලීසිය විසින් එක් වීඩියෝ ක්ලිප් එකකින් සොයා ගත් බවත් මෙම නිලධාරියා ඝාතනයක් සිදු කර තිබේ නම් පොලීසිය නිකන් නොසිටින බවත් සිය රාජකාරිය ඉටු කරන බවත් කියා සිටියේය.

එම කාන්තාව මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කොමිසම හට පැමිණිලි කර ඇති බවත් පොලිස් නිලධාරීන් රස්තියාදු වීමක් පමණක් වන බවද ඔහු කියා සිටියේය.

අධිකරණ වෛද්‍ය නිලධාරියා මෙය සියදිවි නසා ගැනීමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් ඊටත් එහා දෙයක් කිරීමට නොහැකි බවද සඳහන් කර සිටියේය.

සැබැඳි පුවත් -

“තරුණිය මිය ගියේ පොලිස් නිලධාරියාගේ වරදින්” - මවක් නඟන චෝදනාවට ශ්‍රී ලංකා පොලිසියෙන් පිළිතුරු (VIDEO)

පොලිස් නිලධාරියාගේ විකෘති ආශාවන් නිසා 26 හැවිරිදි තරුණියක් සිය දිවි නසා ගනී - මවක් සංවේදීව කළ හෙළිදරව්ව (VIDEO)

Rate this item
(0 votes)
Last modified on Monday, 08 March 2021 17:24