March 29, 2024

කහ නැති උනා කියලා කවුරුවත් මැරිලා නෑනෙ - කහ ගැන ඇහුවම බන්දුලට තදවෙයි (VIDEO)

දෙවන ලෝක යුද්ධය සමයේදී අපේ මුතුන් මිත්තන් හරියට කුසට ආහාරවේලක් නොමැතිව බජිරි කා ජීවිත ගැටගසාගෙන සිටි බවත් ඊට වඩා බරපතල වසංගතයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේදී ඇතැම් අපහසුතා විඳදරා ගැනීමට ජනතාව පුරුදු වියයුතු බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ උත්සව අවස්ථාවකින් පසුව මාධ්‍යවේදීන් බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුර ලබා දෙමිනි.

දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් ඇතැම් ආහාර ද්‍රව්‍ය ආනයන සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බවත්, එම ද්‍රව්‍ය මේ වනවිට වගා කරමින් තිබෙන බවත් ඒ අනුව ඉදිරියේදී කිසිදු අත්‍යවශ්‍ය ආහාර හිගයක් ඇති නොවන බවත් අමාත්‍යවරයා පවසයි.

වෙළඳපොලේ තිබෙන කහ හිගය සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්නට පිළිතුරු දෙමින් ගුණවර්ධන මහතා සඳහන් කළේ කහ ආනයනය සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බවය. කහ නොමැතිකම නිසා කිසිවෙකුත් මරණයට පත් වී නොමැති බවත්, ජනතාවද යම් ප්‍රමාණයකට දරාගෙන ජීවත්වීමට පුරුදු වියයුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

ඇමතිවරයා ආවේගයෙන් මෙන් ප්‍රකාශ කළේ කහ හිගය දරාගත නොහැකි වී තිබෙන්නේ ජාවාරම්කරුවන්ට මිස ජනතාවට නොවන බවය. ඒ නිසා මාධ්‍යවේදීන්ද කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බව බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 March 2021 16:40