April 24, 2024

ලොව විශාලතම බොරතෙල් පර්යන්තයට ප්‍රහාරයක් - ලෝක තෙල් මිලත් ඉහළ යයි

ලොව විශාලතම බොරතෙල් පර්යන්තයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයත් සමඟ ලෝක වෙළෙඳ පොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ‍ඩොලර් 71 දක්වා ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් ප්‍රහාරයෙන් තෙල් සැපයුමට බාධාවක් සිදු නොවූ බව ද සෞදි රජය පවසයි.

ගල්ෆ් වෙරළ තීරයේ පිහිටි රාස් ටනූරා නමැති තෙල් ගබඩා සංකීර්ණයට ඊයේ දිනයේ දී මුහුදේ සිට මෙම ප්‍රහාරය එල්ල වූ බව සෞදි රාජධානිය නිකුත් කළ නිවේදනයට දැක්වේ.

මෙම පර්යන්තය දිනකට ‍ලොව සමස්ථ තෙල් ඉල්ලුමෙන් සියයට 7 ක්, එනම් තෙල් බැරල් මිලියන 6.5 ක් නිපදවීමේ හැකියාවෙන් සමන්විත බව සෞදි අරාබිය පවසයි. එමෙන්ම මෙම තෙල් පර්යන්තය ලොව වඩාත් ආරක්ෂිතම තෙල් ගබඩා සංකීර්ණය ලෙසින් ද සැළකේ.

යේමනයේ හවුති කැරලිකරුවන් සෞදි අරාබිය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ මැද පෙරදිග කලාපයේ එදිරිවාදීකම් වඩාත් උත්සන්න වෙමින් පවතින අවස්ථාවක නවතම ප්‍රහාරය වාර්තා විය. අමෙරිකා එක්සත් ජනපදය ද සිරියාවේ ඉරානයේ සහාය ලත් කැරලිකරුවන්ගේ ඉලක්කවලට පසුගිය මාසයේ දී ප්‍රහාරයක් එල්ල කළේය.

සෞදි අරාබිය සහ ඔපෙක් ප්ලස් රටවල් අප්‍රේල් මාසයේදී තෙල් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට දුන් ප්‍රතිඥාවත් සමඟ ඉකුත් සතියේ ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල ඉහළ ගියේය.

2019 වසරේ සැප්තැම්බර් මාසයේ දී සෞදි අරාබියේ තෙල් සැකසුම් මධ්‍යස්ථානයකට සහ තෙල් නිෂ්පාදන මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වාර්තා වූ දරුණුතම ප්‍රහාරය ඉරිදා දිනයේ වාර්තා විය. එම ප්‍රහාරය පිළිබඳ වගකීම හවුති කැරලිකරුවන් විසින් බාර ගනු ලැබූව ද ඊට ඉරානය වගකිව යුතු බවට රියාද් පාලනය චෝදනා කළේ ය.

Rate this item
(0 votes)