April 25, 2024

පළාත් සභාවට කලින් පළාත් පාලන ඡන්දය පැවැත්වෙන ලකුණු

පළාත් සභා මැතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

2018 පෙබරවාරි 10 වැනි දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් පත් වූ පළාත් පාලන ආයතන වල නිල කාලය 2022 පෙබරවාරි 10 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය.

ඒ අනුව එළැඹෙන 2022 වසරේ පෙබරවාරි මස 10 වෙනිදායින් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට හිමිවෙයි.

පළාත් සභා මැතිවරණය එළඹෙන ජූනි මස පවත්වනු ඇති බවට විශාල ප්‍රචාරයක් ගියද මේ වර්ෂයේ දී කිසිදු මැතිවරණයක් පැවැත්වීමේ අදහසක් රජය තුළ නොමැති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදී එය සම්මත කර ගැනීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම රජයේ ස්ථාවරය වී ඇති බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පළාත් සභා පිළිබඳව මෙන්ම කොට්ඨාශ හා සමානුපාතික යන දෙයාකාරයටම පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව තිබෙන ගැටලු තවමත් විසඳී නොමැති තත්ත්වයක් තුළ ඉතා ලඟදීම පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බවද පෙන්වා දෙන එම ආරංචි මාර්ග ඇතැම්විට වත්මන් රජයේ ප්‍රතිපත්තිය මත පළාත් සභා මැතිවරණය පැවැත්වේදැයි යන්න සැක සහිත බවද සඳහන් කරයි.

එළඹෙන ජූනි මාසයේ දී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මීට පෙර ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් උදේ ගම්මන්පිල අමාත්‍යවරයාද තහවුරු කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 March 2021 13:58