April 25, 2024

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ.

1908 වසරේදී වැඩකරන පැය ගණන සීමා කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැති පා ගමනකින් පසු පළමු වරට ජාතික කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණි.

අනතුරුව එය ජාත්‍යන්තර කාන්තා දිනයක් බවට පත්වූ අතර 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ද එය නිල වශයෙන් පිළිගනු ලැබීය.

ඇතැම් රටවල ජාතික නිවාඩු දිනයක් ලෙස ද අද දිනය නම් කර ඇති අතර කාන්තාවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ.

මේ අතර කාන්තා දිනයට සමගාමීව ආශිර්වාද පූජාවක් අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත් වුණි.

ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණ විසින් මෙම ආශිර්වාද පිංකම සංවිධානය කරතිබූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

යම් රටක් කාන්තාවට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන ජනාධිපතිවරයා එහි මෙසේද සඳහන් කර තිබේ.

ශ්‍රී ලාංකේය සමාජය ස්ත්‍රිය, දියණියක, සහෝදරියක, බිරිඳක, මවක සහ ගෘහණියක ලෙස ඇයගේ භූමිකාව අතීතයේ සිට ගෞරව බුහුමනින් යුතුව අගය කළා. ඒ අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා තිබෙනවා.

කවර ප්‍රජාවක වුවද මූලික ඒකකය වන පවුල් සංස්ථාවේ පදනම සකසන්නී කාන්තාවයි. සිය ජීවිත කාලයේ නන්විධ භූමිකා ඉටු කරන ඇය පවුල් ඒකක එක්වීමෙන් නිර්මාණය වන සමාජය එකට බැඳ තබන ශක්තිමත් හුයක් බඳුය. හැම විටම මුදලින් ගණනය නොකළ ද ජාතික නිෂ්පාදනයට ඇයගෙන් ලැබෙන දායකත්වය නිසැකවම ඉතා ඉහළ අගයක් ගනී. ස්ත්‍රියගේ අභිමානය, ගෞරවය සහ සතුට ආරක්ෂා කරමින් පෝෂණය කිරීම සමාජ වගකීමක් වන්නේ එබැවිනි.

වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජයීය, සංස්කෘතික ජීවිතයේ ක්ෂේත්‍ර ගණනාවක වැඩි නියෝජනය හිමි කර ගැනීමට ස්ත්‍රීහූ සමත්ව සිටිති. තවත් ක්ෂේත්‍ර රැසක ඇය පිරිමියාට අභියෝග කරමින් සිටින්නීය. මේ ජයග්‍රහණ කාන්තාවගේ බුද්ධියට, ධෛර්යයට හා කැපවීමට මෙන්ම අපේ සමාජයේ සමාජ සාධාරණත්වයට හා පරිණතභාවයට ද නිදසුනකි. දේශපාලන ක්ෂේත්‍රයේ ඇයගේ සහභාගිත්වය වර්ධනය කළ යුතුව තිබේ.

“රටකි – දැයකි – ලොවකි – ඇය ” යන්න මෙවර අන්තර්ජාතික කාන්තා දින තේමාව කොට ගැනීම අතිශයින් කාලෝචිතයයි හඟිමි.

කාන්තාවගේ කාර්යභාරය නිවැරැදිව හඳුනාගත් “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය කාන්තා පරපුරේ සමාජ, ආර්ථික දායකත්වය ප්‍රවර්ධනයට ප්‍රතිඥා දී ඇත. එහි සඳහන් අටවැදෑරුම් ක්‍රියාමාර්ග දැන් යථාර්ථයක් බවට පත් කෙරෙමින් තිබේ.

අන්තර්ජාතික කාන්තා දිනය සමග එක්වන අපේ කාන්තා පරපුරට මගේ ආශීර්වාදය සහ ශුභාශිංසන පිරිනමමි.

අභියෝගය තෝරාගන්න සියලු කතුන්ට ආරාධනා -අගමැති

ජයග්‍රහණය හෝ පරාජය මෙන්ම යහපත හෝ අයහපත ලැබෙනුයේ සිතුවිලි හා ක්‍රියාවන් අනුව නිසා සියලු කාන්තාවන්ට අභියෝගය තෝරාගන්නැයි ආරාධනා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටී.

අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත. එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ“රටකි, දැයකි, ලොවකි ඇය” යන තේමාව යටතේ සමරන ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමට ශුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.

ලෝකයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක් දිනයක් සැමරීමට ලක් වුවද සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන්විය යුතු බව මාගේ විශ්වාසයයි. දියණියක, බිරිඳක මෙන්ම ලොව උතුම් මව් පදවියට පත්වන්නේ ද කාන්තාවකි. මානව වංශය වෙනස් කළ සියලු ශාස්තෘවරුන්ගේ සිට මානව පැවැත්ම සාක්ෂාත් වන්නේ ඒ ඔස්සේය. මේ නිසා කාන්තාවන්ට සමාජයේ නිසි ගෞරවය නිතැතින් හිමිවිය යුතුය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් ද කාන්තා අයිතිවාසිකම්වලට මුල්තැන ලබාදෙනවා මෙන්ම ඔවුන් දිරිය කතුන් ලෙස සවි බල ගැන්වීම පිළිබඳව නිතැතින් අවධානය යොමු කර තිබේ.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මෙන්ම වෙනස් කොට සැලකීම අප රජයක් ලෙස තරයේ හෙළා දකිමු. ඔවුන්ගේ නැගී සිටීම සමාජ යහපතට යෙදී ඇති අවස්ථා අප රටක් ලෙස අත්විඳිමින් සිටියි. ඉතිහාසයේ විහාරමහ දේවියගෙන් ද නූතනයේ ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආදර්ශයෙන් ද ශ්‍රී ලාංකේය කාන්තාවගේ වීරත්වය හා නායකත්වය ලොවටම විදහාපායි. එම අභාසයන් අනුව යමින් මෙරට කාන්තාවන් අද වන විට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මාතෘ භූමියේ බොහෝ වගකීම් දරමින් සිටීම ආඩම්බරයට කරුණකි.

ආර්ථික සමාජයීය හා දේශපාලන වශයෙන් ද කාන්තාවන්ගේ මැදිහත්වීම අපි අගය කොට සලකමු. සමාජයේ කුඩාම ඒකකය වන පවුල සුරක්ෂිත කිරීමට වෙහෙසෙන කාන්තාව, අවසානයේ මුළු රටම සුරක්ෂිත කිරීමට දායක වී තිබේ.

විවිධ හේතුමත මේ දක්වා සමාජයේ කාන්තාවන්ට තිබෙන අභියෝග බොහොමයකි. මේ අභියෝගාත්මක ලොවේ සෑම කාන්තාවක්ම අවදියෙන් සිටිය යුතුය. ඔබගේ සාමුහිකත්වයේ දායකත්වය අනුව ගොඩනැගෙන අනාගත මාතෘ භූමිය මෙන්ම දියුණු ලෝකය දෙස සියලු දෙනා බලා සිටින බව සිහිපත් කරමි.

 

Rate this item
(0 votes)