April 25, 2024

පාස්කු ප්‍රහාරකයන් විසින් ගෙනා කඩු 6000 ට මොකද වුණේ - කාදිනල්තුමන් පෙත්සමක් ගොනුකරයි

සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ තැප්‍රොබේන් ආපනශාලාවේ බෝම්බයක් පුපුරුවා පිරිසක් ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදුකළ මොහොමඞ් ඉන්ෂාන් අහමඞ් නමැති බෝම්බකරුගේ අවශ්‍යතාව මත එක්තරා මුස්ලිම් ජාතිකයකු විසින් කඩු 6000 ක් මෙරටට ආනයනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා පසුගිය 05 වනදා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින් ගොනුකර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නාය.

එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන 31 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළේය.

සහරාන් හෂීම් ප‍්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් 2019 අපේ‍්‍රල් 21 දිවයිනේ පිහිටි සුප‍්‍රකට කතෝලික දේවස්ථාන හා සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් අනතුරුව ආරක්‍ෂක අංශ විසින් සිදුකළ විමර්ශනවලදී පෙරකී බෝම්බකරුගේ අවශ්‍යතාව මත මොහොමඞ් සන්තාර් නමැත්තා විසින් කඩු 6000 ක් ආනයනය කර ඇති බව අනාවරණය වී ඇති බවත් ඉන් කඩු 600 ක් රට තුළ බෙදාහැර ඇති ආකාරය අනාවරණය වී ඇතත් සෙසු කඩු 5400 ක් පිළිබඳව නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට ආරක්‍ෂක අංශ මේ දක්වා අසමත් වී ඇති බවත් කාදිනල්තුමා සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

එවැනි විශාල කඩු ප‍්‍රමාණයක් සඟවා තැබීමට ඉඩහැරීම රටේ ජාතික ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීමට ආරක්‍ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා ඇතුළු ආරක්‍ෂක අංශ බලධාරීන්ට නියෝගයක් කරන ලෙස ද කාදිනල්තුමා සිය පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති චන්දන වික‍්‍රමරත්න, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලෙකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ජාතික බුද්ධි තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සුරේෂ් සලෙයි, රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී රුවන් කුලතුංග, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ නිශාන්ත සොයිසා ඇතුළු පිරිසක් නම් කොට තිබේ.

Rate this item
(0 votes)