April 24, 2024

කළු ඉරිදා විරෝධයට භික්ෂූන් වහන්සේ නමක් කළු සිවුරකින් ඇවිත් (VIDEO)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට වහාම සාධාරණය ඉටු කරන්නැයි බලකරමින් අද දින කොළඹ අගරදගුරු පදවිය කේන්ද්‍ර කර ගනිමින් දිවයින පුරා කිතුනු මෙන්ම කිතුනුවන් නොවන සහෝදර ජනතාවගේද සහය ඇතිව ක්‍රියාත්මක වන කළු ඉරිදා විරෝධතාවයට භික්ෂූන් වහන්සේ නමක් කළු සිවුරකින් කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට පැවැති නිහඬ විරෝධතාවට පැමිණ තිබේ.

එම අවස්ථාවට තවත් භික්ෂූන් වහන්සේලා වැඩම කර තිබූ උන්වහන්සේලා කළු සිවුරකින් එම විරෝධතාවයට පැමිණ නොසිටියහ.

‘කළු ඉරිදා විරෝධයට’ සහභාගී වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූවේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ මහමොළකරුවන් පාස්කු කොමිසමේ වාර්තාව හරහා එළිවෙතැයි සිතා සිටි නමුත් එය කොතරම් දුරට සිදු වී ඇත්දැයි යන්න පිළිබඳව සැකයක් ඇති බවයි.

කොමිසමේ වාර්තාව අසම්පූර්ණ බවත් මෙම ප්‍රහාරයේ සැබෑ කතෘවරුන් කවුරුන්ද යන්න ඉදිරියේදී හෙළි කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියි.

බෝම්බ ප්‍රහාරය සිදු කළ අය, ඒ වෙනුවෙන් මුදල් ලබා දුන් අය, ඊට සහය දුන් දේශපාලන බලවේග මොනවාද, ඊට ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධද යන කරුණු පිළිබඳව හෙළිදරව් කිරීමට මීට වඩා අවංක උත්සහයක් රජය විසින් දරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටින බවයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කරයි.

එම කාර්ය සිදුවන තුරු මෙම විරෝධතාවය දිගින් දිගටම සිදු කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

Rate this item
(0 votes)