April 24, 2024

රටේ ඉරණම වෙනස් කළහැකි එකම නායකයා ගෝඨාභය - අනුරාධ

“රටේ ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පමණයි“ යැයි රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න මහතා පවසයි.

රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනට සමගාමීව ග්‍රාමීය මාර්ග කි.මී. 100.,000 ක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කිලෝමීටර් 13.1 වන පලල මීටර් 5.5 ක් වන මාර්ගය මීටර් 6.05 ක් වනසේ පුළුල් කර ද්විත්ව තීරු මාර්ගයක් ලෙස කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු රුපියල් මිලියන 333.97 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් අද (07) දින ඉල්ලගොල්ල මංසන්ධියේදී ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව පැවසීය.

හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා විසින් වසර 27 කට පමණ පෙර ඉදිකිරීම් කරනු ලැබූ මෙම හිඳගල දොළුව හරහා ගම්පොල මාර්ගය ද්විත්ව තීරු මාර්ගයක් ලෙස කාපට් අතුරා සංවර්ධනය කිරීම කාලෝචිත යැයි හඳුනාගනු ලැබූ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ පූර්ණ මැදිහත්වීම තුළ හිඳගල දොළුව හරහා ගම්පොල දක්වා දිවෙන මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කරනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මෙසේද පැවසී ය.

“එදා අපි ජනාධිපතිවරණයේදී ඔබට පොරොන්දු වුණා ගෝඨාභය මැතිතුමා ජනාධිපති වෙනකොට ඔබේ ගමේ සංවර්ධනය පිළිබඳ වගකීම මම භාර ගන්නවා කියලා. මේ ආණ්ඩුව කවදාවත් ගමේ සංවර්ධනය,ගමේ ඇති ප්‍රශ්න ගැටලු ආණ්ඩුවක් නෙමෙයි ඒක ඔබට ඇස් පනාපිටම පේන්න තියෙනවා. ඉදිරි කෙටි කාලය තුළ ගම්පොළ ප්‍රදේශයට 90% කට අධික ප්‍රමාණයකට පානීය ජලය ලබා දෙන වැඩපිළිවෙලක් සූදානම් කරල ඉවරයි. පහුගිය කාලයේ පැවති ආණ්ඩු වගේ අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව පැලවෙන මුල්ගල් තියන්නේ නැහැ.“

“දැන් විපක්ෂයක් පටන් අරගෙන ගමින් ගමට ගිහිල්ලා ජංගම සේවා පවත්වන්න. ගෙදරට ගිහිල්ලා අහනවා අනේ ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. දැන් තමයි විපක්ෂයට මතක් වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා කියලා. අපිට තියෙන්නෙ ජනතාවගේ ඡන්ද ටික පෙට්ටියට දාලා ගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි. රට පිළිබඳ රටේ සංවර්ධනය පිළිබඳ ඊට එහා ගියපු වගකීමක් අපට තිබෙනවා. මේ රටේ ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පමණයි. ඒ නිසා තමයි 68 ලක්ෂකින් මේ රටේ ජනතාව එතුමාව ජනාධිපති පුටුවේ ඉන්දුවේ. දශක තිහක යුද්ධය අවසන් කරපු එතුමා ඉදිරි වසර කීපය තුළ මේ රටේ සංවර්ධන යුද්ධය ජය ගන්නා බව නිසැකයි.“ යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)