April 20, 2024

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය දිවයිනට

කොවිඩ් මර්දනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත 20%ක එන්නත් ප්‍රමාණයෙන් කොටසක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් අද (07) දින අලුයම 12.15 ට එමිරේට්ස් EK - 2528  දරණ විශේෂ ගුවන්යානයෙන් මෙරටට පැමිණ තිබේ.

යුනිසෙෆ් ආයතනය මගින් මිළදී ගනු ලැබූ එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා ශ්‍රී ලංකාවට හිමිවිය. 

කොවිඩ් මර්දන රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත එන්නත් තොගය නිල වශයෙන් බාරදීම සිදුවිය.

එම එන්නත් අවදානම් ප්‍රදේශවල අවදානම් කාණ්ඩයට අයත්වන වයස අවුරුදු 60ට වැඩි ජනතාව වෙත ලබාදීමට සැලසුම්කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලයිස්තුවෙන් බලය පැවරෙන පරිදි එන්නත් මාත්‍රා මිලියන 1.44ක් යුනිසෙෆ් ආයතනය විසින් 2021 මැයි මස අවසානය දක්වා අදියරෙන් අදියර ලබාදෙනු ඇත. 

Rate this item
(0 votes)