April 20, 2024

වේල්ලවීදිය සිදුවීම : පොලිස් ගෞරවයත් සහ ඥාති ගෞරවයත් නැතුව SI අවසන් ගමන් යයි

තරුණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී පසුව සියදිවි හානි කරගත් බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයාගේ අවසන් කටයුතු ඊයේ (06) දිනයේ දී සිදු කර තිබේ.

පි.සී.ආර් පරික්ෂාව කිරීමෙන් පසුව පැවැති පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව පොලිස් නිලධාරීයාගේ දේහය ඊයේ දිනයේ දී ඥාතීන් වෙත ලබා දී තිබුණි.

ඊයේ රාත්‍රී 9.30ට පමණ නිලධාරීයාගේ දේහය ඔහුගේ බඩල්කුඹුරේ පිහිටි නිවස වෙත රැගෙනවිත් ඇති අතර දේහය නිවසට තුළට නොගෙන නිවසෙන් පිට තබා තිබුණු බවද වාර්තාකරුවන් පවසා සිටියි.

ආගමික වතාවත්වලින් අනතුරුව එදිනම රාත්‍රී 10ට පමණ ඔහුගේ අවසන් කටයුතු කර තිබේ.

මෙහිදී අවමංගල්‍ය අවස්ථාවට මිය ගිය පොලිස් නිලධාරිවරයාගේ ඥාතින් කිහිප දෙනෙකු පමණක් පැමිණ සිටි බවටත් සඳහන්.

මෙම ඝාතනයට වරදකරු වීම නිසා උප පොලිස් පරික්ෂවරයාට පොලිස් ආචාරය හෝ ගෞරවයද හිමි නොවුණි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට සිදුකළ අපකීර්තිය හේතු කොට ඔහුගේ දේහයට පොලිස් ගෞරව ලබා නොදීමට තීරණය කර ඇති බව නි.පොලිස්පති අජිත් රෝහණ මහතා මීට පෙර පවසා තිබුණි.

උප පොලිස් පරික්ෂවරයාට හිමි ඔහුගේ නිල ඇඳුම ඇන්දවීම ද මෙහිදී සිදු නොකර තිබෙනු දැකගන්නට හැකිවිය.

යම් පොලිස් නිලධාරියෙක් කිසියම් සිද්ධියක සැකකරුවෙක් බවට පත්ව සිටිය දී මියගිය පසු හෝ සිය දිවිනසා ගැනීමක් සිදුකරගතහොත් එවැනි නිලධාරියකුට පොලිස් ගෞරවාචාර දැක්වීමක් හෝ ඔහුගේ නිලයට හිමි නිල ඇඳුම ඇන්දවීමක් හෝ සිදු නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියේය.

Rate this item
(3 votes)