April 23, 2024

ශ්‍රී ලංකාවේ පළමු දේශීය වෛද්‍ය විද්‍යාලය විවෘත කෙරේ

1929 දී ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත් ජී.පී. වික්‍රමාරච්චි මහතා විසින් ශිෂ්‍යන් 20ක් සමග ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය ආරම්භ කළේය. එය 1995 වසරේ දී කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ යක්කල වික්‍රමාරාච්චි දේශීය වෛද්‍ය ආයතනය ලෙස ස්ථාපිත කෙරිණි.

මෙය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරිමට යෝජනා වූයේ 2011 වසරේ දිය. එවකට ජනාධිපතිවරයා වු වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒ සදහා අවශ්‍ය මුලික කටයුතු සිදු කළ ද යහපාලන රජය එම යෝජනාව ක්‍රියාත්මක කිරීම අත්හැර දමා තිබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන්නේ මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කරන බවයි. 

ඒ අනුව යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ කටයුතු යළි ආරම්භ කෙරුණු අතර ඒ සදහා මූලිකත්වය ගෙන කටයුතු කළ සංචාරකඇමති ප්‍රසන්න රණතුංග මහතායි. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ නාමපුවරුව නිරාවරණය කිරීම සහ සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම අද සිදු කෙරුණු අතර එහි දැනට ඇති පූර්ණ කාලීන අධ්‍යාපන පාඨමාලාවන්ට අමතරව අලුතින් පශ්චාත් උපාධි හා අර්ධකාලීන පාඨමාලා ආරම්භ කිරීමට නියමිතයි. වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති උත්සව සභාවේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මෙම ආයුර්වේද විශ්ව විද්‍යාලය, මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට එක්වීම වත්මන් රජය ලැබු සුවිශාල ජයග්‍රහණයක් බවයි.  

විශේෂයෙන් ම විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කිරීම සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය යෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට හැකිවීම සතුටට කාරණයක් බව පෙන්වා දුන් ඇමතිවරයා වාර්ෂිකව විශ්ව විද්‍යාලයට ඇතුළ් වන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇතැයි සදහන් කළේය.  පසුගිය වසරේ පසුගිය කළින් වසරට වඩා විශ්ව විද්‍යාලවලට ශිෂ්‍ය ශීෂ්‍යාවන් 11,000 ක් ඇතුළත් කර ගැනීමට කටයුතු යොදා තිබේ. ඉදිරියේ දී වාර්ෂිකව එම ශීෂ්‍යයන් සංඛ්‍යාව වැඩි කිරීමට රජය අපේක්ෂා කරයි. එමෙන්ම විශ්ව විද්‍යාල වලට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට ද රජයේ විශේෂ අවධානය යොමුව තිබේ. දිවයිනපුරා පිහිටි සියලු විශ්ව විද්‍යාල වල භෞතික හා මානව සම්පත් මේ අනුව දියුණු කෙරේ.

Rate this item
(0 votes)