March 29, 2024

එපා කියද්දී හමුදා බස් රථය දුම්රිය පාර හරහා දාලා - කැලණියේ සිදු වූ මාරාන්තික අනතුරේ විඩීයෝව මෙන්න

කැලණිය, වනවාසල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකින් බස් රථයක් දැමීම හේතුවෙන් මාරක රිය අනතුරක් සිදුව තිබේ.

අද (01) වැනිදා උදෑසන 9.20ට පමණ මෙම අනතුර සිදුව තිබුණු අතර දුම්රිය ආරක්ෂක සංඥා ක්‍රියාත්මක වෙමින් පැවැති අවස්ථාවක මෙම හමුදා බස් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළ් කර තිබේ.

එම අවස්ථාවේ බස් රථයේ පිටුපස කොටස දුම්රියේ ගැටී තිබෙන අතර පාලනයෙන් ගිලිහී ගිය බස් රථය දුම්රිය මාර්ග අසළ තිබූ ලොතරැයි අලෙවි සැලකට කඩා වැදී තිබුණි. 

එම අවස්ථාවේ ලොතරැයි අලෙවි සැලේ හිමිකරු සහ එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයෙකුද බස් රථයේ ගැටී තිබුණු අතර ඔවුන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ලොතරැයි අලෙවි සැලේ හිමිකරුගේ බිරිඳ මෙම මාරක අනතුර සිදු වූ ආකාරය ගැන පවසා තිබුණේ මෙවන් දෙයකි.

 “මිනිස්සු ඔක්කොම දාන්න එපා කියද්දී දැම්මේ… දාන්න එපා කියද්දී දාපු පාර බස් එක කෝච්චියේ වැදිලා ගෙටම විසි වෙලා ආවා.. මහත්තයා එතන ඉස්සරහ ස්විප් විකුණ විකුණ හිටියේ.. ඒ මනුස්සයාව බස් එකට හිර වුණා.. එක කකුලක් එල්ලි එල්ලී ගෙනිච්චේ මෙතනින්.. එක කකුලක් කපන්න ඕනලු.. අනිත් කකුල කැඩිලාලු ඒක ගැන තවම මොකුත් කියන්න බැහැලු..ළමයි තුන්දෙනත් ගේ ඇතුළේ හිටියේ.. ඔක්කොම පෙරලෙන කොට තමයි ඒ ළමයිව ගේ පිටිපස්සෙන් යන්න කියලා පිටිපස්සෙන් එලෙව්වේ…” 

මෙලෙස අනතුරට පත්ව තිබුණේ රාගම රණවිරු සෙවණේ සිට කැලණිය දක්වා ධාවනය වෙමින් තිබී ඇති බස් රථය කුලී පදනම මත යුද හමුදාව ලබාගෙන ඇති බස් රථයකි. 

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු සමග යුද හමුදා සෙබළුන් දෙදෙනෙක් එහි ගමන් කරමින් සිටි බව වාර්තා වේ. 

අනතුර සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

එම රිය අනතුර සිදු වූ අවස්ථාවේ දර්ශන පහතින්,

Rate this item
(0 votes)