March 28, 2024

ඉම්රාන් ඛාන්ට වැරදුණ තැන - අර්ජුන රණතුංග තක්සේරුව

1982 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල සිය මුල්ම ටෙස්ට් තරගයට එංගලන්තය සමග සහභාගි වීමෙන් පසු වූ මාර්තු මාසයේ ටෙස්ට් තරඟ තුනකින් යුත් පාකිස්තාන සංචාරයක් යෙදී තිබිණි.

එම සංචාරයේදී පාකිස්තාන පිලට නායකත්වය දුන්නේ ජැවෙඩ් මැයන්ඩාඩ් වන අතර කණ්ඩායම තුළ හටගත් අර්බුදයක් මත සහීර් අබ්බාස්, ඉම්රාන් ඛාන්, සෆ්රාස් නවාස්, වසිම් බාරි , මුඩසර් නසාර් වැනි ප්‍රබල ක්‍රීඩකයින් පළමු ටෙස්ට් ක්‍රිකට් තරග දෙකට සහභාගී නොවූවද තුන්වන ටෙස්ට් තරගය සදහා සහභාගී විය.

තුන්වන ටෙස්ට් තරඟයේ දී එවකට 18 වැනි වියේ පසු වූ පාසල් සිසුවකු වූ අර්ජුන රණතුංග, ඉම්රාන් ඛාන්ගේ පන්දු හමුවේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට ඉනිම දෙකේදීම දැවී ගිය අතර දැවී යාමෙන් පසු ක්‍රීඩා මණ්ඩපයට පැමිණිමෙන් පසු කිව්වේ ඉම්රාන් ඛාන් එවන පන්දු පේන්නේ නැති බවය. ඒ කිව්වේ ඒ තරමටම වේගවත් බවය.

ඒ කතාව අසා සිටි අනුර රණසිංහ ඊට පිළිතුර ලෙස කිව්වේ බෝල පේන්නෙ නැත්තං ක්‍රිකට් ගහන එක නවත්තන්න කියාය. එවකට 25 වැනි වියේ පසුවූ අනුර රණසිංහ එහෙම කිව්වේ පළමු ටෙස්ට් තරඟයට සහභාගී වීමට සියලු සුදුසුකම් සපුරා සිටි තමාව කැපුනේ අර්ජුන රණතුංග නිසා යන කරුණද සිතේ තැන්පත්ව තිබූ නිසා වීමට පිළිවන.

මේ කරුණු කිව්වේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ අර්ජුන රණතුංගගේ පළමු හමුව එය බව මතක් කිරීමටය.

එහෙම මතක් කිරීමට හේතු වූයේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දුන් භෝජන සංග්‍රහයේ දී ඉම්රාන් ඛාන්, අර්ජුන රණතුංග අමතා කළ සුවිශේෂී යෝජනාව ගැන කතා කිරීමේ මුලික හැඳින්වීම ලෙසය.

ඒ භෝජන සංග්‍රාහයේ දී ඉම්රාන් ඛාන් විසින් තමා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ධූරය සඳහා පැමිණි ගමනේදී ක්‍රීඩකයකු ලෙස ලබාගත් අත්දැකීම බෙහෙවින් ප්‍රයෝජනය වූ බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නව තලයකට ගෙන ඒමට ආත්ම ශක්තිය,අභිමානය තිබූ එකම පුද්ගලයා අර්ජුන රණතුංග බවත් එය 1996 පාකිස්ථානයේම පැවැති ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ දී දුටු බවත් එනිසා තමා මෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා නව ගමනක් ආරම්භ කරන ලෙස ඉල්ලීමක්ද කරන ලදී.

ඉම්රාන් ඛාන් සිතන විදියට අර්ජුන රණතුංගට එවැන්නක් කිරීමට හැකියාවක් තිබේද යන්න ප්‍රශ්නයකි.

ඒ බැව් කරුණු කිහිපයක් පදනම් කොටගෙන පෙන්වා දීමට පිළිවන.

උගත්කම - සාර්ථක දේශපාලනඥයෙකු වීමට නම් උගත්කම අත්‍යවශ්‍යය. ඉම්රාන් ඛාන් එංගලන්තයේ ගෞරවාන්විත ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන්නේද ඒ අධ්‍යාපනයෙන් ලද පන්නරය ද පදනම් කොටගෙනය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ලද ඒ අධ්‍යාපන පන්නරය දේශපාලන පක්ෂයක් ආරම්භ කොට වසර විසි දෙකකට පමණ පසු රටේ නායකත්වය දක්වා පැමිණි ගමනට ඉවහල් විය.

අපේ අර්ජුන රණතුංග සිටින්නේ එකේ අනිත් පැත්තේය. කොළඹ ආනන්ද විද්‍යාලයේ අපොස උසස් පෙලවත් හරියට සමත් නැති අර්ජුන පාසල් අධ්‍යාපනයෙන් පසු පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වූ අතර ඉන්පසු ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී.

පාසලෙන් ඉවත් වීමේ සිටමේ දක්වා ගෙවුණු වසර 38 තුළ අර්ජුන් රණතුංග අමුතුවෙන් ලද අධ්‍යාපනයක් නොමැත.

ආකර්ෂණය - අඩි 6 ක් පමණ උස ඉතා කඩවසම් පෙනුමකින් යුත් ඉම්රාන් ඛාන් ලොව ඉතා ආකර්ෂණීයම චරිතයකි. සැබැවින්ම ඔහුට කිසිදු බාධාවකින් තොරව හොලිවුඩ් නැත්නම් අසල්වැසි ඉන්දියාවේ බොලිවුඩ් සිනමා පුරයේ ජනප්‍රිය තාරකාවක් වීම පහසු කටයුත්තක්ම විය.

සිනමාවට නොපැමිණියද හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය රේඛා, සීනත් ආමන්, ඩිම්පල් කපාඩියා වැනි සුරූපී නිළියන් සමග සබදතා පැවැත්වූ ඉම්රාන් ඛාන් ඒ සබඳතා ඉතා කෙටි කලකට පමණක් සීමා කළේ සිය අනාගත ඉලක්ක හඹා යෑමේදී ළපටි කලටි වලට වඩා රන් තැබිලි ගෙඩියක වටිනාකම දන්නා නිසාය.

ඉම්රාන් ඛාන්ගේ කඩවසම් ආකර්ෂණය ඔහුගේ දේශපාලන ගමනට අසීමිත ප්‍රයෝජනයක් වූ බව පසක් වන්නේ මේ වන විට 68 වන වියේ පසුවුවද ඉම්රාන් ඛාන් තුළ තවමත් තිබෙන කඩවසම් බව නිසාමය.

අපේ අර්ජුන රණතුංග එවැනි ආකර්ෂණීය කඩවසම් චරිතයක් නොවේ. පාසල් ක්‍රීඩකයකු ලෙසද කුඩා බඩකට හිමිකම් කියූ අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ජාතික පිලට එක්ව කල්යත්ම එම බඩ තව වැඩි වූවා මිස අඩු වූයේ නැත. හැඩයක් නැති බඩකට පමණක් උරුමකම් කියූ එතරම් උස නැති අර්ජුන රණතුංග සිය දේශපාලන ගමනේ ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ ක්‍රිකට් වලින් ගොඩනගාගත් නම සහ සිය පියා වූ රෙජී රණතුංග මහතාගේ දේශපාලන උරුමය නිසාය.

රාජ්‍ය නායකයෙකුට ආකර්ෂණය ඉතා වැදගත්ය. එය අමතර වාසියකි. අපේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ගතහොත් ඔහු මෙරට මෙතෙක් සිටි රාජ්‍ය  නායකයින්ට වඩා විශේෂ වන්නේ,කැපී පෙනෙන්නේ ඔහුගේ බාහිර පෙනුමේ තිබෙන ආකර්ෂණය නිසාය

දේශපාලන ක්‍රියාකාරිත්වය - මීට වසර 22 කට පමණ පෙර සම්ප්‍රදායට පිටින් යමින් ප්‍රධාන පක්ෂ දෙකට පරිබාහිරව නව පක්ෂයක් පිහිටුවමින් ඉම්රාන් ඛාන් දේශපාලනයට පිවිසියේ කෙදිනක හෝ ප්‍රධාන පක්ෂ දෙකට අභියෝග කිරීමේ අරමුණද ඇතිවය.

නව පක්ෂය පිහිටුවා මුහුණ දුන් සිය ප්‍රථම මැතිවරණයේදී ආසන එකකට පමණක් හිමිකම් කී ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වසර 22කට පසු බලය ලබාගත්තේ ඉම්රාන් ඛාන්ගේ තිබෙන උගත්කම, ආකර්ෂණය මෙන්ම ඔහු තුළ තිබෙන දේශපාලන වැඩපිළිවෙළ නිසාය.

ඉම්රාන් ඛාන් සිය දේශපාලන ජීවිතය තුළ සිටියේ එක පක්ෂයකය. තමන් ගොඩනැඟූ පක්ෂයේය. එහෙට මෙහෙට පැන්නේ නැත. ඒ නිසාම ඔහුට තිබෙන්නේ එක ප්‍රතිපත්තියකි.ඒ තමන් විශ්වාස කරන ප්‍රතිපත්තිය හැර අන් පක්ශ විශ්වාස කරන ප්‍රතිපත්තිය නොවේ.

එහෙත් අපේ අර්ජුන රණතුංගගේ කතාව ඊට සම්පූර්ණයෙන්ම වෙනස්ය.

ඉම්රාන් ඛාන් පක්ෂයක් පිහිටුවීමට හිතද්දී අර්ජුන රණතුංග මෙරට ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. වසර 2000දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් අර්ජුන රණතුංග ඒ වසරේම පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට පාලක පොදු පෙරමුණෙන් තරග කොට මන්ත්‍රීවරයකු බවට පත්විය.

ඉන්පසු 2007 දී පැවැති, පාලක පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙක්ව සිට 2010දී ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ සන්ධානයකින් තරඟ කොට යළිත් වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වී 2015 වර්ෂයේ දී තමන් ප්‍රථමයෙන්ම දේශපාලනයට පැමිණි අවධියේ තමන් නියෝජනය කළ කඳවුරට ප්‍රතිවිරුද්ධ කදවුර වූ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත් වී ප්‍රථම වතාවට කැබිනට් ඇමැති ධුරයකටද පත්විය.

2020 මැතිවරණයේදී පරාජය වී මේ වන විට නිවසට සීමා වී සිටින අර්ජුන රණතුංග සිය 20 වසරක දේශපාලන ජීවිතය තුළ මැද මාවතේ වමත්, අන්ත වමත්, අන්ත දක්ෂිණාංශික කඳවුරත් නියෝජනය කරමින් ප්‍රතිපත්තියක් නැතිකම සිය ප්‍රතිපත්තිය බව ක්‍රියාවෙන්ම ඔප්පු කොට හමාරය.

නව පක්ෂයක් පිහිටුවා ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ජාතික පිලක් මෙහෙයවා ඉන් ලද අත්දැකීම් මත ශ්‍රී ලංකාව තුළ දේශපාලන පක්ෂයක් පිහිටුවා රටේ බලය අල්ලා ගන්නා ලෙස ඉම්රාන් ඛාන්, අර්ජුන රණතුංගගෙන් ඉල්ලීමක් කළද අර්ජුන රණතුංගට ඒ ලඟට පැමිණීමට තබා සිතීමටත් නොහැකි බව ඉම්රාන් ඛාන් ට නොතේරුනාට මෙරට මිලියන 16 ක ඡන්දදායකයාට නම් තේරෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

කොටින්ම අර්ජුන රණතුංග යනු දේශපාලන වශයෙන් බංකොලොත්ම චරිතයකි. එහෙව් බංකොලොත් චරිතයකට රටේ පාලන බලය ගන්නා ලෙස උපදෙස් දෙන ආකාරයට පාකිස්තාන රට මෙහෙයවීමට ගියහොත් ඉම්රාන් ඛාන්ටද වැඩිකල් නොගොස් අර්ජුන රණතුංගට සිදු වූ දේ සිදු වන බව නම් පැහැදිලිය.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 March 2021 15:54