April 20, 2024

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් රට තුළ අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය කරන්න හදනවා - මරික්කාර්

කොවිඩ් මෘතදේහ ආදාහනය කිරීමට නිල වශයෙන් අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයත් නිකුත් කර තිබියදී එය තවත් ප්‍රමාද කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උත්සාහ කරන්නේ රට තුළ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කිරීමට යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා චෝදනා කරයි. 

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමිනි. 

"සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා භූමදානය සඳහා සුදුසු ස්ථාන හොයලා කොවිඩ් කමිටුවෙන් අවසාන ගයිඩ්ලයින් එකක් දෙනකල් මේක කරන්නෙ නෑ කියලා. එතකොට අගමැතිතුමා කිව්වායින් පස්සෙ, සෞඛ්‍ය ඇමතිවරිය ගැසට් කළායින් පස්සෙ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චේතනාන්විතවම මේ කරන්න හදන්නෙ අනවශ්‍ය ප්‍රශ්නයක් මේ රට ඇතුළේ ආරම්භ කිරීම. 

ඇත්තටම කියන්න ඕනෙ දැන් විද්‍යාත්මක හේතු කාරණා නොමැතිව පහුගිය කාලෙ බලෙන් ආදාහනය කිරීම සම්බන්ධවත් ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගන්න ඕනෙ. දැන් අපි ඉතාම පැහැදිලිව කියනවා ගැසට් එක නිල වශයෙන් ගහලා ඉවර වුණායින් පස්සෙත් තවදුරටත් මේක පරක්කු කරනවා නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේකට වගකියන්න වෙයි කියන එක" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)