April 19, 2024

ඇස් පෙනන දරුවෙකුට සාමාන්‍ය පෙල විභාගය බේල් ක්‍රමයට ලියන්න කියලා! දෙමාපියන්ට ලිපියක් යවලා

February 26, 2021

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය නිසා ඩිස්ලෙක්සියා (dyslexic) නැමැති තත්වයට මුහුණ දුන් සිසුවෙකුට තව දින කිහිපයකින් පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දීමට නොහැකි තත්වයක් උද්ගතවී තිබේ.

කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන ඩිස්ලෙක්සියා තත්වයට මුහුණ දුන් අදාල දරුවා පාසලේ ඉගෙනුම ලැබූ ක්‍රමවේදය අනුව සාමාන්‍ය පෙල විභාගයට ඉදිරිපත් වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා තිබුණද විභාගයට දින කිහිපයක් තිබියදී දරුවාට බේල් ක්‍රමයට විභාගයට ඉදිරිපත් වන ලෙස ලිපියක් එවා ඇත.

මේ හේතුවෙන් අදාල දරුවා දැඩි මානසික පීඩනයට ලක්ව ඇති බවත් මෙවැනි දරුවන් සෑම වර්ෂයකම විභාග සඳහා ඉදිරිපත් වන බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් විභාග දෙපාර්තමේන්තුවෙන් සපයා දෙන බවත් එම ශිෂ්‍යයාගේ පියා සඳහන් කරයි.

ඒෂියන් මිරර් කළ විමසීමකදී එම දරුවාගේ පියා ප්‍රකාශ කළේ පරීක්ෂණ කිහිපයකට මුහුණ දුන් තම දරුවාට පසුව විභාග දෙපාර්තමේන්තුවෙන් ලිපියකින් දන්වා ඇත්තේ බේල් ක්‍රමයට විභාගයට ඉදිරිපත් වන ලෙස බවයි.

තම දරුවාට ඇත්තේ මානසික ආබාධිත රෝගයක් හෝ අන්ධ, කතා කළ නොහැකි තත්වයක් නොවන බවත් ඩිස්ලෙක්සියා තත්වයේදී දරුවාට සිදුවන්නේ කියාදෙන දේ හොඳින් තේරුම් ගියද ලිවිමේ ගැටලුවක් පැන නැගීම බවත් දරුවාගේ පියා පෙන්වා දුන්නේය.

ඒ අනුව විශාල වචන ප්‍රමාණයක් සහිත කරුණු කියවා ගැනීමට නොහැකි නිසා කවුරුන් හෝ එය කියවීමෙන් පසු තේරුම් ගෙන ඊට අදාල ඕනෑම දෙයකට පිළිතුරු සැපයිය හැකි බවත් එනිසා එය මානසික ආබාධයක් නොවන බවත් එම පියා සඳහන් කළේය.

කෙසේ වෙතත් එම අධ්‍යාපන අමාත්‍යාංශය දරුවාට බ්‍රේල් ක්‍රමයට විභාගයට ඉදිරිපත් වන ලෙස දන්වා ලිපියක් එවා ඇති අතර දරුවාගේ පියා පවසන්නේ තම දරුවාට හොඳින් ඇස් පෙනන බවයි.

“දරුවාට කියවන්න අමාරුයි. පාසලේදී ප්‍රශ්න පත්‍ර කියවලා නෑ. ගුරුවරයෙකු එම ප්‍රශ්න කියවා දීමෙන් පස්සේ දරුවාට පිලිතුරු දිය හැකියි. එනිසා සාමාන්‍ය පෙල විභාගයටත් ඒ විදිහට ඉදිරිපත් වීමට, එම ප්‍රශ්න පත්‍ර කියවා දීමට සුදුසුකම් ඇති අයෙකු ඉල්ලා අධ්‍යාපනය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කලා. පසුගිය පෙබරවාරි 09වැනිදා අධ්‍යාපනය අමාත්‍යාංශයේදී දරුවා ගෙන්වා පරීක්ෂණයක් තිබ්බා. එම පරීක්ෂණ මණ්ඩලයේ සිටි තිදෙනා දරුවාගෙන් ප්‍රශ්න ඇහුවා. පසුව නැවත පෙබරවාරි 24 වැනිදා පැමිණෙන ලෙස ලිපියකින් දැන්වුවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව සිදුකරන එම පරීක්ෂණයට දරුවා ඉදිරිපත් කළා. එම මණ්ඩලයේ සිටි එක් අයෙක් මගේ පුතාට මුහුණ ආවරණය ඉවත් කරන ලෙස ඉල්ලුවා. පසුව දරුවාගේ මුහුණ දෙස සමීපව බැලුවා. ඔහුගේ තත්වය පිළිබඳ භෞතික සලකුණු තියෙනවාද කියලා බැලුවේ. මගේ දරුවොගේ එහෙම භෞතික ලක්ෂණ නෑ. හොදින් ඇස් පේනවා. මානසික ගැටලුවක් නෑ. ඔහු සමඟ වාඩි වී සිටින අනෙක් පුද්ගලයාට ඔහුගේ ඇස් පෙනීම පරීක්ෂා කර ඇත්ද සහ ඔහු කණ්නාඩි පැළඳීමට උත්සාහ කර ඇත්දැයි දැන ගැනීමට අවශ්‍ය වුණා.” යැයි හෙතෙම අවධාරණය කළේය

එලෙස පරීක්ෂා කලේ විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු බවත් ඔහුට ඩිස්ලෙක්සියා රෝගයට සමානව කරුණු ගැන වැටහීමක් නොමැති බවත් පියා ප්‍රකාශ කලේය.

“වයස අවුරුදු 7 දී දරුවා ඩිස්ලෙක්සික් තත්වයට අයත් බව හඳුනා ගත්තා. 2018 දී රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය සමන්මලි සුමන්සේන විසින් දරුවාව පරීක්ෂා කළා. දරුවාගේ තත්වය ඩිස්ලෙක්සික් බව නැවත තහවුරු කළා.” පියා පෙන්වා දෙයි.

ඒ අනුව පසුගිය වසර 9 ක කාලය තුළ දරුවා පරීක්ෂා කළ විශේෂඥයින් සිව්දෙනෙකුගේ නිරීක්ෂණය වූවේද දරුවාට කියවීමට අපහසු බව යැයි හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් එම දරුවාගේ පියා පවසන්නේ අන්ධ සිසුවෙකුට යැවිය යුතු ලිපියක් තම දරුවාට එවා ඇති බවත් මෙවැනි ලිපි තවත් දරුවන් 10 දෙනෙකුට යවා ඇති බව වාර්තා වන බවත්ය.

තම දරුවාට විභාගයට මුහුණ දීමට ලේඛකයෙකුට අවසර දෙන බව පවසා ඇති නමුත් ප්‍රශ්න කියවා දීමට පුද්ගලයෙකු දෙන බවට පවසා නොමැති වීමෙන් මෙම ගැටළුව විසඳී නොමැති බව දෙමාපියන් පවසයි.

සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම ඩිස්ලෙක්සික් තත්වයේ දරුවන් විභාගයට මුහුණ දෙන අතර ශ්‍රී ලංකාවේ ඩිස්ලෙක්සියා රෝගයෙන් 7% ක් පමණ පීඩාවට පත්ව ඇත.

ඩිස්ලෙක්සියා යනු නිශ්චිත ඉගෙනීමේ දුෂ්කරතාවයක් වන අතර එමඟින් කියවීම, ලිවීම සහ අක්ෂර වින්‍යාසය පිළිබඳ ගැටළු ඇති වේ. එය බුද්ධියට බලපෑමක් නොමැති බව විශේෂඥ මතයයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 26 February 2021 17:11