April 20, 2024

කොළඹට ජලය නැතිවෙන ලකුණු! 

February 26, 2021

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹට හා තදාසන්න නගරවලට ජලය සැපයෙන කලටුවාව හා ලබුගම ජලාශවල ජල මට්ටම් සීග්‍රයෙන් පහළ බැස ඇතැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කලටුවාව ජලාශයේ ජල මට්ටම අඩි 30 කින් පමණ පහළ බැස ඇති අතර, ලබුගම ජලාශයේ ජල මට්ටම අඩි 14 අඟල් 6 කින් පහළ බැස තිබේ.

කොළඹ දිස්ත්‍රික් මායිමේ කෙළවරටම වන්නට පිහිටා ඇති ලබුගම ජලාශය මගින් හංවැල්ල, ජල්තර, රණාල, නවගමුව හා කඩුවෙල ආදී නගර සහ ඒ අවට පිහිටා ඇති උප නගර මෙන්ම ගම්මානවලටත් කොළඹ නගරයේ කොටසකටත් ජලය සපයනු ලැබේ. ඊට අමතරව කොළඹ මාලිගාකන්ද සහ මෝදර එළිහවුස් ජල තටාකවලට ජලය සැපයෙන්නේද ලබුගම ජලාශයේ සිට දිවයන නළ මාර්ගයෙනි.

ඒ අනුව ලබුගම ජලාශයෙන් දිනකට සැපයෙන ජල ප්‍රමාණය ආසන්න වශයෙන් ඝන මීටර් 60000 කි.

කොළඹ හා රත්නපුර දිස්ත්‍රික්කවලට මැදිව පිහිටා ඇති කලටුවාව ජලාශය මගින් මීපේ, පාදුක්ක, ගොඩගම, මීගොඩ, හෝමාගම, මහරගම යනාදී කොළඹ නගරයේ කොටසකට හා තදාසන්න නගර රැසකටත් ජලය සපයනු ලබයි.

ජලය ඝන මීටර් 80000 ක් දිනකට එමගින් නළ මගින් බෙදා හැරේ.

කෙසේ වෙතත් ලබුගම හා කලටුවාව යන ජල පවිත්‍රාගාර ද්විත්වයේම ජල ධාරිතාව මේ වන විටත් අඛණ්ඩව මුදා හැරියද ජල ඉල්ලුම වැඩිවී ඇති නිසා නියම පීඩන තත්ත්වයෙන් අඛණ්ඩව ජලය සැපයීම ගැටලුවක් වී ඇති බව ලබුගම ජලාශයේ කාර්යභාර නිලධාරී ධම්මික ඩයස් පැවසීය. එසේම පසුගිය මැයි සහ නොවැම්බර් මාසවලදී අපේක්ෂිත තරම් වැසි නොලැබීමද මෙසේ ජල මට්ටම පහළ යෑමට බලපෑ බව ඔහු පැවසීය.

Rate this item
(0 votes)