April 20, 2024

විපක්ෂයේ මන්ත්‍රීවරු දැන් දගලන්නේ පාස්කු වාර්තාවේ තමන්ගේ නම තියෙනවා දැයි දැනගන්නයි

February 25, 2021

‘පාස්කු ප්‍රහාරය සිද්ධ උනේ යහපාලන ආණ්ඩු කාලේ රනිල් වික්‍රමසිංහ නායකයා වෙලා හිටපු සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා වෙලා හිටපු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව තියන කාලේ. තොරතුරු තිබිලත් ප්‍රහාරය වළක්වගන්න බැරිවෙච්ච අය අද බොරුවට කෑ ගහනවා’ යයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පල කළේ මාධ්‍යවේදියෙකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

පාස්කු ප්‍රහාරය සිද්ධ උනේ යහපාලන ආණ්ඩු කාලේ රනිල් වික්‍රමසිංහ නායකයා වෙලා හිටපු සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා වෙලා හිටපු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව තියන කාලේ. තොරතුරු තිබිලත් ප්‍රහාරය වළක්වගන්න බැරිවෙච්ච ආණ්ඩුවේ හිටපු අය අද බොරුවට කෑ ගහනවා. අද බොහෝ දෙනෙකුට අමතකවෙලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරය ඇති වුණේ කාගේ කාලයේ ද කියලා. අද අපේ කාලේ අපි කළ දෙයක් වගේ තමයි විපක්ෂයේ උදවිය කෑ ගහන්නේ. විපක්ෂය අද කෑගහනවා කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. මේ අයට අවශ්‍ය වන්නේ ඒ කමිටු වාර්තාවේ තමන්ගේ නම සදහන්ව තිබෙනවා දැයි දැනගැනීමට කියලා තමයි මම හිතන්නේ. එදා බුද්ධි තොරතුරු කලින් ලැබිලත් ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගන්න කටයුතු නොකරපු උදවිය තමයි අද බහුතරයක් විපක්ෂයේ මන්ත්‍රීවරු ලෙස ඉන්නේ. ඒ දවස් වල ඉල්ලා අස්වෙනවා කියලා ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡා තියපු අය ඉල්ලා අස්වුනාද? ජනතාව මුලා කරන්න නිකන් මාධ්‍ය සංදර්ශනයක් තමයි එදා දැම්මේ.

එදා කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කථා කරද්දි කාදිනල්තුමාට මඩගහපු අයම තමයි අද පාස්කු ප්‍රහාරය කරේ තියාගන යන්නේ.

මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට කතෝලික සභාවේ නායකයා වශයෙන් කාදිනල් හිමිපාණන්ගේ කණගාටුව සාධාරණයි. මෙම ප්‍රහාරයට ලක්ව මිය ගියඅය බහුතරයක් කතෝලික භක්තිකයන්. එමෙන්ම මේ ප්‍රහාරයෙන් ආබාධිත තත්ත්වයට පත්ව සිටින අයට ප්‍රහාරය සිදු වෙලා වසර දෙකක් ගියත් සාධාරණයක් ඉෂ්ඨවෙලා නැහැ. මේ නිසා උන්වහන්සේ ලොකු වේදනාවකින් සහ කලකිරිමකින් ඉන්නේ. රටේ පුරවැසියෙක් ලෙස මම හිතන විදිහට කැලෑ නීතිය ක්‍රියාත්මක නොකර ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි. අමාත්‍යවරයකු හැටියටත් සමාජයට වගකිවයුතු පුරවැසියකු හැටියටත් මමත් බලාගෙන ඉන්නෙත් සාධාරණයක් ඉෂ්ඨවෙනකම්.

පල්ලියේ යාච්ඤා කරමින් හිටපු අහිංසක මිනිස්සු තමයි මෙ ප්‍රහාරයට ලක් වුනේ. කතෝලික භක්තිකයෙක් වශයෙන් මටත් සාධාරණ කණගාටුවක් හිතේතියනවා. කතෝලිකයන්ට විතරක් නෙවෙයි ත්‍රස්තවාදය අනුමත නොකරන සෑම කෙනොටම සිද්ධ වුන ප්‍රහාරයක්. මේ හැමෝටම මේ ප්‍රහාරය ගැන දුකක් තියනවා. අපි සියලු ජනකොටස්වල ආරක්ෂාව තහවුරු කරනවා. කුමන ආකාරයක හෝ ත්‍රස්තවාදයකට ඉඩ තියන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ව, ඒවාට වගකිව යුත්තන්ව නිශ්චිතව හඳුනාගෙන නීතිය හමුවට පමුණුවනවා.

ඒ කාලයේ පාස්කු ප්‍රහාරය සිදු වුණාම යහපාලන ආණ්ඩුව හැසිරුණේ කොහොමද.

“මගේ පියා දැන් ඉන්නේ රෝහලේ. ඊයේ රෑ මට කථා කරලා කිව්වා පල්ලියට එහෙම යන්න එපා. පල්ලිවලට ගහනවා කියලා ආරංචියක් තියනවා. බුද්ධි අංශවලට මේ වෙද්දි තොරතුරු ලැබිලා තියනවා.” එදා තාත්තා කියනදේ අහලා හරීන් ප්‍රනාන්දු පල්ලි ගියේ නැහැ. බුද්ධි අංශ ලබාදුන්න බුද්ධිතොරතුරු තියෙද්දි ප්‍රහාරය වලක්වාගන්න බැරිවෙච්ච විපක්ෂය බොරුවට අඩනවා. තමන්ගේ ඡන්ද පදනම බලාගෙන ත්‍රස්තවාදී ක්‍රියාවලියට ඉඩ දුන්නා. මුස්ලිම් දේවස්ථාන වල කඩු හම්බවෙලත් එදා යහපාලන රජය ඒවා යට ගැසුවා. පුත්තලම වානාතවිල්ලුව ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය හමුවුණු සිද්ධියත් ඔවුන් වැඩි ගණනකට ගත්තේ නැහැ.

රුවන් විජේවර්ධන මේලෝ දෙයක් නොදැන කිව්වා නවසීලන්තයට එල්ල උනා වගේ ප්‍රහාරයක් කියලා.

ප්‍රහාරයෙන් පස්සේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවලා රටේ ජනතාව හඩද්දි යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු හිනා වෙවි තමයි කථා කලේ. රනිල් වික්‍රමසිංහ කිව්වා දන්නෙ නෑ කියලා. ආරක්ෂක කමිටුව රැස් කරගන්න දුන්නෙ නෑ කියලා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්තයා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කිව්වේ “ගහනවා කියලා දැනගෙන හිටියා නමුත් මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ” කියලා තමයි කිව්වේ.

අපි තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙනවා. මේ වාර්තාවේ තියන දේවල් හංගන්නවත් යටගහන්නවත් නෙවෙයි මේ කමිටුව ජනාධිපතිතුමා පත් කරලා තියෙන්නේ. රජයේ පාර්ශ්වයෙන් මොනවද කරන්න තියෙන්නේ කියන දේ සොයා බැලීමයි මේකෙන් කරන්නේ. ජනාධිපතිතුමා පත් කල පාර්ලිමෙන්තු කමිටුවට පැවරී ඇති වගකීම පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති පරීක්ෂණ කොමීෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යනය කොට නැවත මෙවැනි විපතක් ඇති වීම වලක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරිමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරිමයි. මට සීයට සීයක් විශ්වාසයි අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ප්‍රජාතනත්‍රවාදී නීති රාමුව තුල මෙම ප්‍රහාරයට වගකිව යුතු සියළු දෙනාටම දඩුවම් ලබා දෙනවා.

Rate this item
(0 votes)