April 19, 2024

පාස්කු වාර්තාව අසම්පුර්ණයි - ජනතා බලාපොරොත්තු කඩවීමක්

February 25, 2021

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් වන අතර එය සමස්ත රටවැසියන් බලාපොරොත්තු වූ තත්ත්වයේ වාර්තාවක් නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අවධාරණය කළේය.

ඊයේ (25) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. 

මෙම වාර්තාවෙන් බලාපොරොත්තු වූයේ ප්‍රහාරය සඳහා මූල බීජය කුමක්ද? මෙය මෙහෙය වූයේ කවුද? ඊට හේතු මොනවද? යන්න වුවත් එවැන්නක් මෙම වාර්තාවේ සඳහන් නොමැති බව මන්ත්‍රීවරයා පැවසුවේය. 

මෙම පාස්කු ප්‍රහාරය බලය ලබා ගැනීමේ අරමුණින් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවද හෙතෙම කියා සිටියේය. 

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

''අපි ඉල්ලා සිටිනවා මේ සඳහා මූලික වුණු අය ගැන හඳුනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන්න කියල. සහරාන්ව මෙහෙය වූයේ කවුද? රවී සෙනෙවිරත්න කියන විමර්ශන නිලධාරියා සාක්ෂි දෙමින් පැවසුවා සහරාන්ව මෙහෙය වූ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ නැත්නම්  ඔවුන් පිළිබඳ සොයා බලන්නේ නැත්නම් මේ වාර්තාව අසම්පූර්ණයි කියලා. මේ රටේ ජාතික ආරක්ෂාවත් අනතුරෙන් කියල. ඔහු එහෙම කියන්නේ ඔවුන්ගේ පරීක්ෂණ අනුව ඔවුන් දකිනවා සහරාන්ව පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් මෙහෙයවුවා කියල. ඔවුන් හිතල තිබුණේ මෙය විදේශීය බලවේගයක් විසින් මෙහෙයවුවා කියල. නමුත් රවී සෙනෙවිරත්න මහතා විශේෂයෙන් පැවසුවා මෙය විදේශයෙන් නෙවේ මෙහෙයවා තිබෙන්නේ මේක රට තුලින්ම තමයි මෙහෙයවලා  තියෙන්නේ කියලා.  රට තුළම මෙහෙයවුවා නම් එය මෙහෙය වූයේ කවුද? මේ වාර්තාවේ එහෙම දෙයක් වාර්තා කරලා නැහැ. ඒ වගේම සහරාන්ට 2012 සිට වැටුප් ගෙව්වේ කවුද? කුමන ආයතනයකින්ද? අපිට දැනගන්න ලැබිලා තියෙනවා ආරක්ෂක අමාත්‍යංශයෙන් සහරාන් ඇතුළු 21 දෙනෙකුට වැටුප් ගෙවල තියෙනවා කියල . කුමක් සඳහාද එහෙම ගෙව්වේ. පසුගිය දවසක අගමැතිතුමා කියල තිබුණා සහරාන්ට වැටුප් ගෙවද්දී අපි දන්නේ නැහැ ඔහු ත්‍රස්තවාදියෙක් කියල. ඒ වගේම කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාත් එය මාධ්‍ය හමුවකදී  පිළිඅරන් තිබුණා.''

ඒ අනුව මෙම පාස්කු ප්‍රහාරයට සහරාන් වෙත අනුබල දුන්නේ කවුද යන්න සොයා බැලීම කොමිසමේ වගකීමක් වුවත් එය ඉටුව නොමැති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේය. 

Rate this item
(0 votes)