April 25, 2024

පොලිස් පොඩ්ඩෝ උසස්වීම් නැතැයි කියා නඩු මගට ...

February 24, 2021

පොලිසියේ විවිධ තනතුරුවලට අයත් නිලධාරීන් 31,000 කට අධික පිරිසකට එක්වරක් පමණක් බලපාන උසස්වීම් ලබාදී ඇතැත් පොලිස් රියදුරු තනතුරු දැරූ නිලධාරීන්ට පමණක් එම උසස්වීම් ලබානොදිමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් පොලිස් රියදුරන් ලෙස රාජකාරී කරන කොස්තාපල්වරු හා සැරයන්වරු 235 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කොට තිබෙනවා. 
 
අවුරුදු 12 සිට අවුරුදු 18 දක්වා කාලය තුළ උසස්වීම් නොලැබීමෙන් අසාධාරණයට ලක්ව, රැකියාව පිළිබඳව අතෘප්තියට හා මානසික පීඩාවට ලක්ව ඇතැයි සඳහන් කරමින් ඉදිරිපත් කොට ඇති මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභා සාමාජිකයින් ද නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය.

මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් බුවනෙක අළුවිහාරේ, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතීඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුව එලෙස අවසර දුන්නේය.
 
පොලිස් රියදුරන් ලෙස රාජකාරී කරන කොස්තාපල්වරු 210 දෙනෙකු හා පොලිස් රියදුරන් ලෙස රාජකාරී කරන සැරයන්වරු 25 දෙනෙකු ඉදිරිපත් කළ මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, පොලිස් කොසමිසම, එහි සභාපතිවරයා හා සාමාජිකයින් ඇතුළු 11 දෙනෙකු මෙහි වගඋත්කරකරුවන් වශයෙන් නම් කර ඇත.
 
සේවා කාලය, අත්දැකීම් හා මුලික සුදුසුකම් උපයාගෙන සිටින නිලධාරීන්ට නිසි කලට උසස්වීම් නොලැබීම පොලිසියේ බහුතර නිලධාරීන් මුහුණ දෙන ගැටලුවක් බවත් ඒ පිළිබඳව සළකා 2019 ජනවාරී 01, ජුලි 01 සහ 2020 ජනවාරී 01 දිනවල පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා නිලධාරීන් 31,500කට එකවරක් පමණක් ලැබිය හැකි උසස්වීම් ලැබුණු බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ කෙසේ නමුත් පොලිස් සාමාන්‍ය සේවයේ රියදුරන් ලෙස රාජකාරී කරන කොස්තාපල්වරුන් හා සැරයන්වරුන් නොසළකා මෙම උසස්වීම් ලබාදී ඇති බව ඔවුහු සඳහන් කරති.

Rate this item
(1 Vote)