April 20, 2024

ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකාව හා බැදි ක්‍රිකට් අතීතය

February 24, 2021

මේ වන විට ශ්‍රී ලංකාවේ නිල රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරතව සිටින පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකාව හා බැඳි අතීතයට මේ වන විට වසර 45 ක් සපිරෙයි.

ඉම්රාන් ඛාන් මහතා මුල් වතාවට ශ්‍රී ලංකාවට පැමිණියේ 1976 වසරේදී ඉන්ටිකාබ් අලාම් නායකත්වයෙන් යුත් පාකිස්තාන ජාතික ක්‍රිකට් පිල සමගය.

ඒ වන විට ඉම්රාන් ඛාන් මහතා 23 වැනි වියේ පසුවිය.

මේ කාලය වන විට ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිව නොතිබුණු අතර එම සංචාරයේදී අනුර තෙන්නකෝන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල නිල නොවන ටෙස්ට් තරගයකදී පාකිස්තාන පිල පරාජය කිරීමට සමත් විය.

ඉන්පසු යළිත් 1986දී ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ ඔහුගේම නායකත්වයෙන් යුත් පාකිස්තාන ජාතික ක්‍රිකට් පිලත් සමගය.

ඒ වනවිට ටෙස්ට් තත්ත්වය හිමිකරගෙන තිබූ ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන්නේ දුලිප් මෙන්ඩිස්ය.

එංගලන්තයේ සුප්‍රසිද්ධ ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන ඉම්රාන් ඛාන් මහතා එම විශ්වවිද්‍යාල කණ්ඩායමත් ඉන්පසු සසෙක්ස් ප්‍රාන්තය ද ඉතා දිගු කලක් නියෝජනය කරන ලදී.

ශ්‍රී ලංකාවේ උපන් එංගලන්තයේ පුරවැසිකම හිමි ගිහාන් මෙන්ඩිස් ඉම්රාන් ඛාන් මහතා සමග දිගුකලක් සසෙක්ස් පිල නියෝජනය කිරීම ද විශේෂත්වයකි.

1991දී ඕස්ට්‍රේලියාවේදී පැවති ලෝක කුසලාන තරගාවලියේදී ඉම්රාන් ඛාන් මහතා නායකත්වය දුන් පාකිස්තාන ජාතික පිල මුල් වරට ලෝක කුසලානය ජය ගැනීමට සමත් වූ අතර එම ජයග්‍රහණයේ ගෞරවය පිළිකා රෝගයෙන් මිය ගිය සිය මව වෙත ත්‍යාග ප්‍රදාන උත්සවයේදී පිරිනැමීම ලෝකයේ විශේෂ අවධානයට යොමු විය.

එම ලෝක කුසලාන ජයග්‍රහණයට ලත් ගෞරවය මෙන්ම ප්‍රසිද්ධිය මත සිය මව සිහි වීම වස් පාකිස්තානයේ පිළිකා රෝහලක් ඉදිකිරීමට ඉම්රාන් ඛාන් මහතා කටයුතු කරන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 24 February 2021 10:47