April 25, 2024

වී දුන්නත් නැතත් පොහොර සහනාධාරය දෙනවා

February 24, 2021

පොහොර සහනාධාරය ලබාගෙන හෙක්ටයාරයකට වැඩි භූමි ප්‍රදේශයක වී වගා කරන ලද ගොවීන් රජයට අනිවාර්යයෙන් වී ලබාදිය යුතුය යන තීරණය ඉවත් කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ (23 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීවේය.

පොහොර සහනාධාරය ලබන ගොවීන් රජයට වී කිලෝ 1000 ක් දෙන්න ඕනේ කියන තීරණයෙන් අපි ඉවත් වුණා. හැබැයි කීයට වී ගත්තත් නාඩු සහල් කිලෝ එකක් රුපියල් 97 ටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 99 පාලන මිලටත් වඩා වැඩියෙන් විකුණන්න බෑ. වී අලෙවි මණ්ඩලයට වී දුන්නත් නැතත් පොහොර සහනාධාරයට කිසිදු බලපෑමක් නෑ යැයි ඇමැතිවරයා මෙහිදී පැවසීය.

මේ අතර මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් වී අලෙවි මණ්ඩලයට මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේය.

මීට පෙර ආණ්ඩුව තීරණය කර තිබුණේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පමණක් මිලදී ගැනීමටය.

රජයේ ගබඩාවල වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ගබඩා කිරීමේ හැකියාව පවතින අතර අමතර වී තොග ගබඩා කිරීම සඳහා කුඩා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා යොදාගැනීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කියයි.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය මගින් වී තොග මිලදී ගැනීමේදී කිලෝවක මිල රුපියල් දෙකකින් ඉහළ දැමීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් 44කට මිලදී ගත් තෙත වී කිලෝවක් රුපියල් 46කටද, රුපියල් 50කට මිලදී ගත් නාඩු වී කිලෝවක් රුපියල් 52කටද, රුපියල් 52කට මිලදී ගත් සම්බා වී කිලෝවක් රුපියල් 54කටද මිලදී ගැනීමට තීරණය කර තිබේ.

පෞද්ගලික අංශය සමග තරගකාරීව තොග මිලදී ගැනීම සඳහා වී මිල ගණන් ඉහළ දැමූ බව ඇමැතිවරයා කීවේය.

Rate this item
(0 votes)