April 19, 2024

වෙලාව එනතුරු ඉවසන්න - අපි ගන්නම් : ස.ජ.බ ලේකම්ගෙන් එජාප ජේෂ්ඨයෙකුට පණිවිඩයක්

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ජෝන් අමරතුංග මහතා ද සමගි ජන බලවේගය සමග සම්බන්ධ වීමට සාකච්ඡා පවත්වා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා එහි ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් සමග අමරතුංග මහතා සාකච්ඡා පවත්වා ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

එහිදී රංඡිත් මද්දුම බණ්ඩාර මහතා අමරතුංග මහතාට සඳහන් කොට ඇත්තේ සුදුසු වේලාවේදී සමගි ජන බලවේගයට එක් වෙන්න ලෙසත් එතෙක් ඉවසා ගෙන සිටින ලෙසත්ය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවේ පලවෙනියා ලෙස සිටි ජෝන් අමරතුංග මහතාට පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ලබා නොදීම මත ඔහු දැඩි කලකිරීමකින් සිටින බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ධුර හෙබ වූ අමරතුංග මහතාට පසුගියදා පක්ෂයට නව නිලධාරී මණ්ඩලය පත්කිරීමේදී සැලකිය යුතු ධූරයක් ලබා නොදීමද අමරතුංග මහතාගේ කලකිරීමට තවත් හේතුවක් වී තිබෙන බව ද දැනගන්නට තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා සමාන කාලයක් එනම් වසර 42ක් අඛණ්ඩව කටයුතු කර ඇති අමරතුංග මහතා සිය ජ්‍යෙෂ්ඨත්වයට ගැලපෙන තනතුරක් වන පක්ෂ සභාපති ධූරය බලාපොරොත්තුවෙන් සිටියද එය වික්‍රමසිංහ මහතා විසින් වජිර අබේවර්ධන මහතාට ලබා දෙන ලදී.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුළ තනතුරු මුල්කොටගෙන අර්බුදයක් ගොඩනැගී තිබේ.

රවි කරුණානායක මහතා උප නායක ධුරය ප්‍රතික්ෂේප කරමින් පක්ෂ මහලේකම් ධූරය ඉල්ලා සිටි අතර නවීන් දිසානායක මහතා තමාට ලබා දුන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ප්‍රතික්ෂේප කරන බව දන්වමින් පක්ෂ නායක වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 January 2021 15:48