April 24, 2024

අධිකරණ පියස නීතියේ සාධාරණත්වය පතන ජනතා පියස බවට පත්විය යුතුයි - අගමැති

අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පිහිට පතන ජනතා පියස බවට පත්විය යුතුයැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි පැවසීය.

එක රටක් එක නීතියක් වෙනුවෙන් ජාතික අවශ්‍යතාව ගොඩනැගීමේ කාර්යට රජය මුල පුරා තිබෙන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යතුමා, නීතියේ ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම ක්‍රමවේදයකින් ආරවුල් විසදා ගැනීමට නම් අධිකරණය, නීතිඥවරුන් හා මහජනතාව යන අප සියලු දෙනා එක්ව යල් පැනගිය ක්‍රමවේද වලින් එළියට බැස ආකල්පයම වෙනසක් කළ යුතු යැයි පෙන්වා දුන්නේය.

සෞභාග්‍යයේ දැක්මෙන් අධිකරණාභිමානයට අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

යටත් විජිත යුගයේ ඉදිකෙරුණු අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලි වෙනුවට අලුතින් ඉදිවන අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණය අක්කර 06ක භූමි ප්‍රමාණයක පැතිර යන අතර වසර තුනකින් නිමවන මෙම ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 16500කි.

අධිකරණ පියස ට මුල්ගල තබා එහි සමරු ඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උත්සව සභාව අමතා මෙසේ ද කීවේය.

"යුක්තිය පසිදලන අධිකරණය රටක මූලික අවශ්‍යතාවක්. ඒ වෙනුවෙන් තබන ඓතිහාසික පියවරක් සදහා මම පැමිණියේ ඉතාම සංතෝෂයෙන්.

එදා අපි බලයට පත්වනවිට ජනතා අභිලාෂයන් මුදුන්පත් කළහැකි යෝජනා මාලාවක් රට හමුවේ තැබුවා. ඒ සදහා අපට ජනතා ආශිර්වාදය ලැබුණා.

රටේ පොදු මහ ජනතාවට අවශ්‍යය වුණේ අපි ඉදිරිපත් කළ එම ප්‍රතිසංස්කරණයන් ඉටුවනු දැකීම. අධිකරණය සම්බන්ධයෙනුත් පවතින්නෙ එවැනිම විශ්වාසයක්.

දේශපාලනික වශයෙන් අපි කුමන මතවාද දැරුවත් පරමාධිපත්‍ය බලය රැදී තිබෙන්නෙ රටේ ජනතාව සතුව. ඒ නිසා අප රට හමුවේ තබන ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණයන් ඔවුන් තුළ විනිශ්චය වෙනවා කියන එක ඔබ දන්නවා.

ඉතිහාසයේ අප බලයට පත්වූ සෑම විටම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කළා. පෞද්ගලික මැදිහත්වීම්වලින් නීතිය නවන්න අප කිසිදා උත්සාහ කළේ නැහැ.

ඒ නිසා ජනතා පරමාධිපත්‍ය, ජාතික ආරක්ෂාව, සියලු දෙනා ආවරණයවන ආර්ථික සංවර්ධනය, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යය වගේ, රටේ ස්වෛරීත්වයත් ආරක්ෂාවන ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබදව අප ජනතා අවධානය යොමු කළ බව ඔබ තමුන්නාන්සේලා දන්නවා. එය කෙටුම්පත් කිරීමට අවශ්‍ය කටයුතු දැනටත් සම්පාදනය වෙමින් පවතිනවා.

යල්පැනගිය නීති, ක්‍රියා පටිපාටි හා අණපනත් වලින් තවමත් අපේ රටේ ජනතාව පීඩාවට පත්වන බව අමුතුවෙන් මා කිව යුතු නැහැ. මේ පීඩනයෙන් ජනතාව මුදා ගැනීම අපේ වගකීමක්.

දැනට තිබෙන සිවිල් ආරවුල් අධිකරණය දක්වා ගෙනයාම වෙනුවට ඒවා සමත මණ්ඩල බලගැන්වීමෙන් විසදිය හැකි ඒවා නම් ඒවා ඒ තුළ විසදිය යුතුයැයි අපි කල්පනා කරනාවා.

ඒ වගේම නඩු විභාග ප්‍රමාදය ජනතාවට ඉතා විශාල බරක් වෙලා තියෙනවා. මම දන්නවා ඇතමෙක් මුළු ජීවිත කාලෙම නඩු කියනවා. හැබැයි තීන්දුවක් ලැබෙන්නෙ නැතිව ඔවුන් අකාලයේ මියැදෙන අවස්ථාත් තිබෙනවා.

මේ තත්ත්වය මගහැරීමට නම් මා විශ්වාස කරන්නෙ අද ඇරඹෙන මේ අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පිහිට පතන ජනතා පියස බවට පත්විය යුතුයැයි අපි විශ්වාස කරනවා.

වෙනදා කොළඹ අලුත්කඩේ ගොඩනැගිලිවල තිබෙන අබලන් තත්ත්වය සාකච්ඡා වුණාට පස්සෙ ඊට පිළියමක් යෝජනා වුණේ නැහැ. අද අපි ඒ සදහා ස්ථීර විසදුමක් ඉදිරිපත් කර තිබෙනවා. මට මතකයි 2014 දි අපි මේ ගැන කතා කළා. අපට අවශ්‍ය වෙලා තිබුණා එදා පටන් ගන්න. රජයන් මාරු වීමත් එක්ක ඒවා අඩපණ වුණා. නමුත් අද මෙය ආරම්භකරන්න පුළුවන් වීම ගැන සංතෝෂ වෙනවා.

අද ඇරඹෙන මේ අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට සමගාමීව රට පුරා නව අධිකරණ ශාලා 100ක් ස්ථාපිත කරන්න අධිකරණ ඇමැතිවරයා කටයුතු කරගෙන යනවා. අධිකරණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් මේ ආකාරයට සංවර්ධනයවනවිට නඩු විභාග කඩිනම් කොට ඒවායේ ප්‍රමාදයන් වළක්වා ගත හැකියැයි අපි විශ්වාස කරනවා. මෙය ඓතිහාසික පියවරක ආරම්භය වන්නෙ ඒ නිසයි.

අපි දන්නවා, දැනටමත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු විභාග විභාග වෙනවා. ඒ පහසුකම ඇතැම් බන්ධනාගාරවලටත් දුන්නා. නමුත් අපේ ඉලක්කය මුළු අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම. එම කටයුත්ත ලබන පෙබරවාරි සිට ආරම්භ කරන්න ඇමැතිතුමා අද උනන්දු වෙනවා. ඒ තුළින් අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව කිහිප ගුණයකින් ඉහළ යනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මේ විධියෙ භෞතික සංවර්ධනයෙන් පමණක් අධිකරණ ක්ෂේත්‍රය දියුණු වන්නෙ නැහැ. ඒක ඔබ දන්නවා. ඒ සදහා මානව සම්පත් සංවර්ධනය විය යුතුයි. නීති ක්ෂේත්‍රවලට අදාළ දේශීය හා විදේශීය අධ්‍යන පහසුකම් ඒ වෙනුවෙන් අප පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ පහසුකම් පිළිබදවත් අප අවධානය යොමු කරනවා. අද ඇරඹෙන අධිකරණ පියසෙන් ඒ වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.

නීතිය යාවත්කාලීන කොට නීතියේ ප්‍රමාදය වළක්වන්න කාර්යක්ෂම ක්‍රමවේදයකින් ආරවුල් විසදා ගැනීමේ ක්‍රමවේදය සාර්ථක වීමට නම් එහි කොටස්කරුවන්වන අධිකරණය, නීතිඥවරුන් හා මහජනතාව යන අප සියලු දෙනා එක්ව යල් පැනගිය ක්‍රමවේද වලින් එළියට බැහැලා ආකල්පයම වෙනසක් කළ යුතු බව අපේ හැගීමයි.

පසුගිය කාලය බැලුවම වසර 40කට පසුව උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව සියයට 60කින් වැඩිවෙලා තිබෙනවා. එය රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් කියලයි මම විශ්වාස කරන්නෙ. එම විනිසුරුවරුන් සංඛ්‍යාව තවත් ඉහළ දමන්න ඕනි කියලා අපි විශ්වාස කරනවා. මම හිතන්නෙ ඇමැතිතුමාත් ඒ පිළිබදව සදහන් කළා.

අප සැමවිට විශ්වාස කරන්නෙ නීතිය සැමට සමාන විය යුතුයි කියලා, ඒ වගේම පුරවැසියාත් නීති ගරුක විය යුතුයි. තවත් පැත්තකින් අධිකරණවල සේවය ලබන පුරවැසියන්ට ඒ ආයතන ගැන බිය නැතිවිය යුතුයි.

මේ ප්‍රතිසංස්කරණයන් එක් රැයකින් නිමා කරන්න බැරි බව ඇත්ත. ඔබ ඇතුළු ජනතාව ඒ සත්‍ය තේරුම්ගෙන තිබෙනවා. ඒ නිසා එක රටක් එක නීතියක් වෙනුවෙන් ජාතික අවශ්‍යතාව ගොඩනැගීමේ කාර්යට අප මුල පුරා තිබෙනවා. ඒ සදහා ගැලපෙන නීති පද්ධතියක් රට හමුවේ යාවත්කාලීන කිරීමට ඔබ ඇතුළු මෙම ක්ෂේත්‍රෙය් සියලු දෙනාගේ සහය ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඔබ සැමට නීතියේ සාධාරණත්වය ඉටුවන සුබ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත සී ජයසූරිය, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන මදුර විතානගේ, සාගර කාරියවසම්, නීතිපති දප්පුල ද ලිවේරා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, අධිකරණ අමාත්‍යංශ ලේකම් එම්.කේ මායාදුන්නේ ඇතුළු නීතිඥ මහත්ම මහත්මීන් රැසක් ‍මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 January 2021 16:55